පළාත් 05කට සහ දිස්ත්‍රික්ක 02කට මිලි මීටර් 100ට වැඩි තද වැසි

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලබන්නේ.

ඒ අනුව අද (18) දිනයේ දී උතුරු, උතුරු – මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු, ඌව පළාත්වල මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථාන වල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.