පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතය ඇරඹේ

අභියෝග භාර ගැනීමට සූදානම් අනාගත සිසු පරපුරක් බිහි කිරීමේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියේ සියලු දරුවන්ට භාවිතය අදින් ආරම්භ වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පෙර දැනුම මත අඛණ්ඩ ව යැපීමට කිසිඳු වෘත්තිකයකුට නොහැකි අතර යාවත්කාලීන දැනුම ඔස්සේ හෙට වෙන දේ අද දැනගැනීම මගින් මෙරට ඉදිරි වෘත්තීය ක්ෂේත්‍රයට සරිලන අධ්‍යාපනයක් ලබා දීමේ දී ඉංග්‍රීසි භාෂාව ඉතා වැදගත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉංග්‍රීසි භාෂාව පන්ති කාමරය තුළ සිසුන්ට සිය මුල්ම පාසල් දිනයේ සිට සබකෝලයකින් හා චකිතයකින් තොර ව හැසිරවීමේ ප්‍රායෝගික කථන පුහුණුවක් ලබාදීම සිය අපේක්ෂාව වන අතර ඊට අවශ්‍ය ප්‍රාථමික ගුරුවරුන් 13,800ක් පමණ මේ වන විට‍ පුහුණු කර අවසන් බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.

පාසල් කිහිපයක හැරුණු විට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය 1962 වර්ෂයෙන් පසු මෙරට නොපැවති අතර 2000 වර්ෂයේ දී යම් ප්‍රමාණයකට උසස් පෙළ විෂය ධාරාවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කරනු ලැබුවා.

මේ වනවිට 6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් 550කට වැඩි ප්‍රමාණයක දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා මෙන් ම වාණිජ, කලා විෂයන් සඳහා ද පෙනී සිටින බවත් අධ්‍යාපන ඇමතිවරයා පෙන්වා දෙනවා.

එමෙන් ම මෙරට ජාත්‍යන්තර පාසල්වල දෙස් විදෙස් දරුවන් මුල සිට ම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන බැවින් අනාගත දෙස් විදෙස් රැකියා ක්ෂේත්‍රය වැඩි වශයෙන් ම විවෘත වන්නේ ඔවුන් සඳහා බවයි ඔහු සඳහන් කළේ.

එම පරතරය නැති කිරීමට රජයේ පාසල්වල ඉංග්‍රීසි භාෂා මාධ්‍ය අධ්‍යාපනය ප්‍රායෝගික ව ව්‍යාප්ත කරන අතර ඒ අනුව ලබන වසරේ දී දෙක ශ්‍රේණියටත් අනතුරු ව තුන වසරේ සිට උගන්වන අනිවාර්ය ඉංග්‍රීසි විෂය සමගත් මෙම වැඩසටහන එකාබද්ධ කරන බව ද ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගංගොඩවිල සමුද්‍රදේවී බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ අද පැවති 1 ශ්‍රේණියේ දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹීමේ සමාරම්භක වැඩසටහනට එක් වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම වැඩසටහන මගින් 1 වසරේ සිට 5 වසර දක්වා වූ මූලික අධ්‍යාපනය මවුබසින් ලබා දිය යුතු ය, යන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා නීතිය උල්ලංඝනය කරමින් සිංහල භාෂාව නොසලකා හැරීමට කිසි දු අපේක්ෂාවක් නොමැති බවයි.

දෙමාපිය අපේක්ෂා මල් ඵල ගන්වමින් ඉදිරියට යන ලෝකයට විවෘත වීමේ අවකාශ දරුවන්ට උදා කර දීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළා.

එමගින් ගුරු-සිසු දෙපිරිසට ම එක් ව ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නියැලෙමින් සතුටින් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වීමේ ප්‍රිය ජනක පරිසරයක් පන්ති කාමරය තුළ නිර්මාණය වනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියේ.

ඉදිරියේ දී මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දෙනු ලබන නව ස්ටීම් අධ්‍යාපන (STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ක්‍රියාවලිය තුළින් ම ගණිතය පරිසරය වැනි විෂයන් ද මේ ආකාරයට ම ඉගැන්වීමේ සුහුරු ප්‍රියජනක ක්‍රමෝපායන් සොයා බැලීමට අධ්‍යාපනඥයන් උත්සුක විය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

සූම් තාක්ෂණය හරහා අන්තර් පළාත් සම්බන්ධීකරණයෙන් ස්ටීම් අධ්‍යාපනයේ සමාරම්භක වැඩසටහන හෙට කොළඹ රාජකීය විද්‍යාලයේ දී පැවැත්වෙන බවයි අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33