spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු එක්දින තරග පරාජයෙන් පසු චාමිකගෙන් ඉල්ලීමක්

ක්‍රිකට් තරග පරාජය වුණාම සමාජ මාධ්‍යවලින් ක්‍රීඩකයන්ට එරෙහිව යම් යම් ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක් වුවද, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට උත්සහ ගන්නා තීරණාත්මක අවස්ථාවකදී ක්‍රීඩකයන්ව මානසිකව ඇද නොදමන ලෙස ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉල්ලීමක් කරනවා.

ක්‍රීඩකයන්ට එරෙහිව විවිධ මඩ ප්‍රචාර පැතිර යද්දී ක්‍රීඩකයන් පත්වන අසීරුතාව පිළිබඳ කල්පනා කළ යුතුව ඇති බවයි චාමික සඳහන් කළේ.

“ අපි ගැන විශ්වාසය තබන්න. ඒ වගේම රටේ සියළු දෙනා අපට ආශිර්වාදය දෙන්න. මොකද විශ්වාසයත්, ආශිර්වාදයත් යන දෙකම අපට වැදගත්. මේ එක්දින තරගාවලිය පටන් ගත්තා විතරයි. තව මැච් දෙකක් තියෙනවා. ඒ වගේම විස්සයි 20 තරග දෙකක් තියෙනවා. ඒ තරග සියල්ලේදීම උපරිම දේ කරන්න අප සූදානම්. ඒ නිසා අප සමග ඉන්න කියා සියළු දෙනාටම ආරාධනා කරනවා“ යනුවෙන් චාමික කරුණාරත්න විශේෂ ඉල්ලීමක් කළා.

නවසීලන්තය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ඕක්ලන්ඩ්හීදී අවසන් වූ පළමු එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී යි චාමික කරුණාරත්න මේ බව කියාසිටියේ.

“ක්‍රිකට්වලින් සෑහෙන්න වෙනසක් කරපු රටක් තමයි ශ්‍රී ලංකාව. අපි වගේ ක්‍රිකට් ලොවේ දැවැන්ත රටක් ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් නොළැඹීම පිළිබඳ සතුටු වෙන්න බෑ. අපේ ක්‍රීඩක විවේකාගාරය තුළ සිටින ක්‍රීඩකයන් මේ ගැන විශාල කණගාටුවකින් සිටිනවා. අප කල්පනා කළ යුත්තේ එකමුතුව මේ තත්ත්වයෙන් ගොඩ එන ආකාරයයි. ඒ නිසයි අප කියන්නේ මේ වගේ වේලාවක සමාජ මාධ්‍ය තුලින් ක්‍රීඩකයන්ව දිරිමත් කළ යුතුයි කියලා. අපි වෙනසක් කළ ටීම් එකක්. එක වරෙක ඉහළට යනවා. තවත් වරෙක පහළට එනවා. අපි බලන්න ඕනේ වරද කොතැනද කියලා. අපේ මානසික මට්ටම හදාගෙන ඒ වැරද්ද නිවැරදි කරගන්න අප උපරිම උත්සහය දරනවා. අපව විශ්වාස කරන්න අපිත් එක්ක ඉන්න. ඉතිරි තරග සියල්ල රට වෙනුවෙන් උපරිමය කරන්න අපේ බලාපොරොත්තුවයි“ .

ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරග ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම් කාලයේදී බැවින් උදෑසන සිට තරගය නැරුඹූ සියලු දෙනාට ස්තූති වන්ත වන බවත්, පළමු තරගයේදී ලද අමිහිරි අත්දැකීම සම්බන්ධයෙන් තරගය නැරැඹූ සියලු දෙනා වෙත කණගාටුව ප්‍රකාශ කරන බවත් චාමික කරුණාරත්න මෙහිදී ප්‍රකාශ කළා.

චාමික නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී ලකුණු 43කට කඩුලු 4ක් දවාගෙන පන්දු යවන්නෙකු ලෙස තම උපරිම දක්ෂතාව ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලබා දුන්නා. එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ හොදම පන්දු යැවීම ලෙසටයි සටහන් වුයේ.
එක්දින තරග 22කට ක්‍රීඩා කර ඇති චාමික මෙයට පෙර එක්දින ජාත්‍යන්තර තරගයකදී හොදම පන්දු යැවීම සටහන් කර තිබුණේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 47කට කඩුලු 3ක් ලබා ගනිමින්.

“ මම හැම වේලාවෙම වෙහෙසවී වැඩ කරන කෙනෙක්. ඒ නිසා මහන්සියේ ප්‍රතිළුල පන්දු යවන්නෙකු ලෙස ලබා ගත්තා. මගේ වළලුකර ආබාධයක් තියෙනවා. ඒත් මේ තරගය අතහරින්නේ නෑ කියා මා කල්පනා කළා. ඊයේ අන්තිම හරියේ තමයි මම ක්‍රීඩා කරන බව දැන ගත්තේ. මම පළමු තරගයට ගහන්න නොවෙයි හිටියේ. මට ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනයක් ගන්න උත්සහා කරනවා. රට වෙනුවෙන් දෙයක් කරන්නයි මගේ කණ්ඩායම වෙනුවෙන් යමක් කරන්නයි මට ඕනෑ. මා සාධාරණයක් කළා කියා හිතනවා. සියයට සියයක්ම බෝලිංවලින් දුන්නා“

නවසීලන්තයට එරෙහිව පන්දු යවන්නන් හා පන්දු රකින්නන් හොඳ සේවයක් කළ බවත්, ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඕවර් 10 තුලදී කඩුලු ආරක්ෂා කර ගැනීමට නොහැකිවීම පරාජයට ප්‍රධාන වශයෙන් බලපෑම් එක්කළ බව චාමිකගේ අදහසයි.

“ පළමු ඕවර් 10දී දුර්වල පිතිකරණය අප පරාජයවීමට හේතුවයි. පළමු ඕවර් 10න් පසුව පන්දු යවන්නන්ට වැඩි වාසියක් තිබුණේ නෑ. පිතිකරුවන්ට යෝග්‍ය තත්ත්වයක් උදාවෙමින් පැවැතියා. ඒගොල්ලෝ ඇවිල්ලා දෙවැනි ස්පෙල් එක දානකොට පන්දුවේ දෝලනයක් තිබුණේ නෑ. නමුත් අපි පන්දු යවද්දී හොඳ දෝලනයක් ආවා. ළහිරු කුමාර එනකොට, දසුන් ශානක එනකොට මේ තත්ත්වය තිබුණා. මගේ හා කසුන් රාජිතගේ පන්දුවලත් යම් දෝලනයක් ආවා. අපි හැමෝම පන්දු යැවීමේ වෙනස්කම් සමග හොද මිශ්‍රණයකින් පන්දු යැව්වා. විකට් එක හොදයි. අනික් විකට්වලට වඩා බවුන්ස් එක මේ විකට් එකේ තිබුණා. ඒ වුණත් අපි හරි කණගාටු වෙනවා. අද දවස අපේ දවස නොවෙයි“

නවසීලන්තය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය ලබන 28 වනදා ක්‍රයිස්චර්ච්හිදී ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?