නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන ආ භාණ්ඩ ‍තොගයක් නාවික හමුදා භාරයට

කල්පිටිය, මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැ‍ගෙන එන ලද බවට සැක කෙරෙන භාණ්ඩ ‍තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

කල්පිටිය, මොහොත්තුවාරම් මුහුදු තීරයේ ඊයේ (03) සවස් කාලයේ කුඩා යාත්‍රා යොදවා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම මෙහෙයුමේදී මොහොත්තුවාරම් වෙරළට පැමිණ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, නීති විරෝධී ලෙස විදෙස් රටකින් මුහුදු මාර්ගයෙන් මෙරටට රැ‍ගෙන එන ලද බවට සැකකෙරෙන වියලි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 15ක්, එනසාල් කිලෝග්‍රෑම් 01 ක්, වියලි කජු මද කිලෝග්‍රෑම් 14ක්, සහල් කිලෝග්‍රෑම් 10ක්, සීනි කිලෝග්‍රෑම් 248ක්, තිරිගු පිටි කිලෝග්‍රෑම් 100ක්, කරවල කිලෝග්‍රෑම් 03ක්, කෝපි අඩංගු ඇසුරුම් 270ක්, රූපලාවන්‍ය නිෂ්පාදන ඇසුරුම් 680ක් සහ සබන් කැට 2930ක තොගයක් හමුවූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා දෙක සහ එම භාණ්ඩ ‍‍තොගය ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.