නීති විරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 570ක් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, කල්පිටිය ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද (07) දින උදෑසන සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, කල්පිටිය ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම මඟින්, එම වෙරළ ප්‍රදේශයෙහී තිබූ සැකකටයුතු උර 15ක් පරීක්‍ෂාවට ලක් කෙරුණා.

එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය 570කට අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා.

තවද, මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.