නීතිවිරෝධී ව විස්කි හා දුම්වැටි ගෙනා දෙදෙනකු හරිත මාවතේ දී අල්ලයි

රුපියල් කෝටි දෙකක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ( Green Channel ) ඔස්සේ පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (01) දින රාත්‍රී අත්අඩංගුවට ගැනුණා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් ව්‍යාපාරිකයන් වන අතර, ඔවුන් අතරින් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන්නෙකු බවත් අනෙකා 36 හැවිරිදි යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

සැකකරුවන් ඊයේ රාත්‍රී 06.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු 10 ක් තුළ විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 116,200ක් අඩංගු දුම්වැටි කාටූන් 581 ක් සහ ඩුබායි ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිල දී ගත් විස්කි බෝතල් 117ක් ද සඟවා ගෙන තිබූ බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පැවසුවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්, සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.