නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකින් අල්ලයි

ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධී විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරරට රැගෙන ආ පුද්ගලයෙක් ඊයේ (19) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු ඩුබායි රාජ්‍යයේ සූපවේදියෙකු ලෙස රැකියාවක නිරත වූ බිබිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු සතු ගමන් මලු දෙකක් තුළ විදේශීය දුම්වැටි 25,000ක් අඩංගු දුම්වැටි කාටූන් 25ක් සොයා ගත් බව ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසනවා.

අත්අඩංගුවට පත් දුම්වැටි තොගය සහ අදාළ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතට අද (20) ඉදිරිපත් කිරීමට නියමිතයි.