spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාසි කඳවුරේ යතුරු ලියන්නියක් මිනීමැරුම් 10,505කට වරදකරු වේ

නාසි සිර කඳවුරක අණ දෙන නිලධාරියා වෙනුවෙන් සේවය කළ හිටපු ලේකම්වරියක් පුද්ගලයන් 10,505කට වැඩි පිරිසකගේ ඝාතන සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව තිබෙනවා.

97 හැවිරිදි වියේ පසුවන Irmgard Furchner, නව යොවුන් වියේ පසුවූ සමයේ මෙම අණ දෙන නිලධාරියා වෙනුවෙන් යතුරු ලියනයක ලෙස වැඩ භාරගෙන 1943 වසරේ සිට 1945 දක්වා එහි සේවය කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

දශක ගණනාවක් තිස්සේ නාසි අපරාධ සම්බන්ධයෙන් නඩු විභාගයට ලක් වූ කාන්තාවන් කිහිප දෙනාගෙන් එක් අයෙකු වන ෆර්ච්නර්ට වසර දෙකකට අත්හිටවූ සිර දඬුවමක් නියම වී තිබෙනවා.

ඇය සිවිල් සේවිකාවක් වුවද, කඳවුරේ සිදුවන කටයුතු පිළිබඳව ඇය සම්පූර්ණයෙන්ම දැනුවත් බවයි විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ.

යුදෙව් සිරකරුවන්, යුදෙව් නොවන පෝලන්ත ජාතිකයන් සහ අල්ලාගත් සෝවියට් සොල්දාදුවන් ඇතුළු 65,000ක් පමණ මිනිසුන් Stutthof හි බිහිසුණු සිර කඳවුරු තුල මිය ගොස් ඇතැයි සැලකෙනවා.

නූතන පෝලන්තයේ නගරයක් වන Gdansk අසල පිහිටි Stutthof, කඳවුරේ එහි රැඳවියන් ඝාතනය කිරීමට විවිධ ක්‍රම භාවිතා කළ අතර 1944 ජූනි මාසයේ සිට එහි ගෑස් කුටි තුළ දහස් ගණනක් මරණයට පත්වුණා.

උතුරු ජර්මනියේ Itzenhoe හි අධිකරණය සිදු කළ නඩු විභාගවලදී කඳවුරෙන් බේරී දිවි ගලවා ගත් පුද්ගලයන්ගෙන් විමසීම් සිදුකර තිබෙනවා. ඔවුන්ගෙන් ඇතැම් අය නඩු විභාගය අතරතුර මිය ගිය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ නඩු විභාගය ආරම්භ වූ විට, Irmgard Furchner ඇයගේ නිවසින් පලා ගිය අතර අවසානයේ හැම්බර්ග්හි වීදියකදී පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.

1955 වසරේ දී මිනීමැරීමට සහායකයෙකු වීම හේතුවෙන් Stutthof අණදෙන නිලධාරි Paul-Werner Hoppe සිරගත කරන ලද අතර වසර පහකට පසුව ඔහු නිදහස් වුණා.

2011 වසරේ සිට ජර්මනියේ නඩු පැවරීම් මාලාවක් සිදුවී ඇති අතර, හිටපු නාසි ඝාතන කඳවුරේ ආරක්ෂකයෙකු වූ ජෝන් ඩෙම්ජන්ජුක් වරදකරු වීමෙන් පසුව, මුරකරුවෙකු වීම ද අදාළ ඝාතනවලට හවුල්කාරිත්වය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක් බවට පූර්වාදර්ශයක් සපයනු ලැබුවා.

සිවිල් සේවිකාවක වන ෆර්ච්නර්ට නඩු විභාගයට පෙනී සිටිය හැකි බවත්, ඇය කෙලින්ම කඳවුරේ අණ දෙන නිලධාරියාට වැඩ කරමින්, ස්ටට්තොෆ් රැඳවියන් වටා ඇති ලිපි හුවමාරුව සමඟ කටයුතු කළ බවත් එම තීන්දුවෙන් පෙන්නුම් කෙරුණා.

මෙම ඝාතන සිදුවන විට ඇය වයස අවුරුදු 21 ට අඩු වූ නිසා විශේෂ බාල වයස්කාර අධිකරණයක නඩු විභාගය පැවැත්ණිවූ බව සඳහන්

“මම ඒ අවස්ථාවේ Stutthof හි සිටීම ගැන මම කනගාටු වෙනවා – මට කියන්න පුළුවන් එච්චරයි,” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

විත්තියේ නීතිඥයින් තර්ක කළේ ඇය හොප්ගේ කාර්යාලයේ යතුරු ලියන්නන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකු වූ බැවින් ඇය දන්නා දේ වටා ඇති සැකයන් නිසා ඇයව නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.

ඉතිහාසඥ ස්ටෙෆාන් හෝඩ්ලර් නඩු විභාගයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර, විනිසුරුවන් දෙදෙනෙකු සමඟ කඳවුර පැවති ස්ථානයට සංචාරය කළා. කඳවුරේ දරුණුතම තත්ත්වයන් කිහිපයක් අණදෙන නිලධාරියාගේ කාර්යාලයෙන් දැක ගැනීමට ෆර්ච්නර්ට හැකි වූ බවයි එම සංචාරයෙන් පැහැදිලි වුයේ.

ඉතිහාසඥයා නඩු විභාගයේදී පැවසුවේ, 1944 ජූනි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මිනිසුන් 48,000ක් රැගත් දුම්රිය ඇතුළු ප්‍රවාහන රථ 27ක් Stutthof වෙත පැමිණි බවයි.

2011 සිට නාසි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය

ජෝන් ඩෙම්ජන්ජුක් – සොබිබෝර් මරණ කඳවුරේදී යුදෙව්වන් 28,000 කට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ වරදට වසර පහක් සිරගත කරන ලද නමුත් අභියාචනයක් බලාපොරොත්තුවෙන් නිදහස් වූ අතර ඊළඟ වසරේ වයස අවුරුදු 91 දී මිය ගියා.

Oskar Gröning – “Auschwitz හි පොත් තබන්නා”, 2015 දී යුදෙව්වන් 300,000 ක් ඝාතනය කිරීමට දඬුවම් නියම කරන ලදී. ඔහු කිසි විටෙකත් සිරගත නොවූ අතර අභියාචනා ක්‍රියාවලිය අතරතුර 2018 දී වයස අවුරුදු 96 දී මරණයට පත්වුණා.

රයින්හෝල්ඩ් හැනිං – අවුෂ්විට්ස් හි හිටපු ආරක්ෂකයා -2016 ජූනි මාසයේදී සමූහ මිනීමැරීමට උදව් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ නමුත් අභියාචනා තවමත් ඉතිරිව තිබියදී වසරකට පසුව වයස අවුරුදු 95 දී මිය ගියා.

Friedrich Karl Berger – Neuengamme ගාල් කඳවුරේ හිටපු ආරක්ෂකයා – 2021 පෙබරවාරි මාසයේදී වයස අවුරුදු 95 දී එක්සත් ජනපදයෙන් ජර්මනියට පිටුවහල් කරන ලදී. ජර්මානු නඩු පවරන්නන් ඔහුට එරෙහිව චෝදනා අත්හැර දැමූ අතර ඔහුගේ වර්තමාන ඉරණම ගැන හෙළිවී නැහැ.

Josef S – Sachsenhausen ගාල් කඳවුරේ සිරකරුවන් 3,500 කට වැඩි පිරිසක් ඝාතනය කිරීමට සහාය වීම සම්බන්ධයෙන් 2022 ජුනි මාසයේදී වසර පහකට සිරගත කරන ලදී. වයස අවුරුදු 101, ඔහු ජර්මනියේ නාසි යුගයේ යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ වයස්ගතම පුද්ගලයායි, නමුත් වයස සහ අසනීප හේතුවෙන් සිරගෙදර කිසිඳු කාලයක් ගත කිරීමට ඔහුට සිදුවුයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?