නාවික හමුදා සාමාජිකයෙක් නව වාර්තාවක මූලික පියවර වව්නියාවෙන් අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සක්‍රිය සේවයේ නියුතු නායක ඉංජිනේරු කාර්මික R.P.S.K සිරිවර්ධන කිලෝමීටර් 580ක දුරක් ඇවිද, නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම සඳහා අද (12) උදෑසන වව්නියාවෙන් සිය ඇවිදීම ආරම්භ කර තිබෙනවා.

අද සිට දින 08 ක කාලයක් තුළ දිනකට කිලෝමීටර් 72.5ක් බැඟින් ඇවිදිමින් මෙම කිලෝමීටර් 580ක දුර ඇවිද නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමටයි ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ.

ඒ අනුව, පළමු දින වව්නියාවේ සිට නොච්චියාගම දක්වාත්, දෙවන දින නොච්චියාගම සිට පාලවිය දක්වාත්, තෙවන දින පාලවිය සිට මාදම්පේ දක්වාත් ගමන් කරනු ඇති.

සිව්වන දින මාදම්පේ සිට නාවික හමුදා මූලස්ථානය දක්වාත්, පස්වන දින නාවික හමුදා මූලස්ථානයේ සිට අ‍ඹේපුස්ස දක්වාත්, හයවන දින අ‍ඹේපුස්ස සිට මැල්සිරිපුර දක්වාත්, හත්වන දින මැල්සිරිපුර සිට මරදන්කඩවල දක්වාත්, අවසන් දින මරදන්කඩවල සිට වව්නියාව දක්වාත් ඇවිදිමින් එම ගමන වව්නියාවෙන් අවසන් කිරීමටයි නියමිත ඇත්තේ.