නාවික හමුදා නිලධාරීන් මුදවා ගැනීමට වෙහෙසුණු අඟුලාන ප්‍රදේශවාසීන් නාවික හමුදාපතිගේ ඇගයීමට

පසුගිය 15 වැනිදා අඟුලාන මුහුදු ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාව ආපදාවට ලක්වීමෙන් අනතුරුව, රළු මුහුදු තත්ත්වය නොතකා ක්ෂණිකව මැදිහත්වී එහි සිටි නාවික හමුදා නිලධාරීන් එකොළෙස් දෙනාගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට දායක වූ අඟුලාන ප්‍රදේශවාසීන් 14 දෙනෙක් ඇගයීමට ලක් කරමින් ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කිරීම අද (18) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් සිදු කරනු ලැබුවා.

බටහිර නාවික විධාන මූලස්ථානයේ දී මෙය සිදු කෙරුණා.

එමෙන්ම, මෙම තීරණාත්මක අවස්ථාවේදී සිය ජීවිත අවදානම පවා නොතකා සිදු කළ එම සුවිශේෂී මැදිහත්වීම සහ උදාර මානුෂීය ක්‍රියාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කෘතඥතාව හා ප්‍රශංසාව පළ කළ නාවික හමුදාධිපති, නාවික හමුදා පුද්ගලයන්ගේ ජීවිත රැක ගැනීම සඳහා එම පුරවැසියන් ඉටු කළ උතුම් පුරවැසි යුතුකම සහ මානුෂීය මැදිහත්වීම, සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට මෙන්ම ලොවටද උදාර ආදර්ශයක් සපයන ක්‍රියාවක් බව අවධාරණය කළා.

මෙම අවස්ථාවට බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ඇතුළු නාවික හමුදා මුලස්ථානය සහ බටහිර නාවික විධානය නියෝජකය කරමින් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.