නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට

විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

රට සංවර්ධනය කරා ගෙන යාමේදී මත්ද්‍රව්‍ය උවදුර පිටුදැක නීතිය හා සාමය තහවුරු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ දකුණු කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමට නෙළුම් පොකුණ රඟහලේදී සංවිධානය කළ උත්සවය අමතමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,

රටක් සංවර්ධනය කිරීමට නම් එරටේ නීතිය හා සාමය ආරක්ෂා කර තහවුරු කළ යුතුයි. ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට සිය කටයුතු කරගෙන යෑමට සුදුසු පරිසරයක් නිර්මාණය විය යුතුයි. අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමටත්, නීතිය හා සාමය කියන අංශ වැඩිදියුණු වීම අත්‍යවශ්‍යයි.

දියුණු රටවල්වල නීතිය හා සාමය ක්‍රියාත්මක වීම පිළිබඳව විනිවිදභාවයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රාග්ධනය, මානව සම්පත, තාක්ෂණය පිළිබඳව විශේෂ අවධානයක් ද යොමු කර තිබෙනවා. අප රට ද එම තත්ත්වයට ගමන් කළ යුතුව තිබෙනවා.

අපි භාර ගත්තේ ආර්ථිකමය වශයෙන් කඩාවැටුණු රටක්. මීට වසර දෙකකට පෙර මේ රටේ තිබූ තත්ත්වය අද ඇතැමුන්ට අමතක වී තිබෙනවා. එදා පැවති තත්ත්වය තුළ රටේ ඉන්ධන, ගෑස් පෝලිම් තිබුණා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තිබුණේ නැහැ.

එදා එවැනි අර්බුදයක් තිබුණත් අද රට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. ආර්ථිකමය වශයෙන් යම් අපහසුතා පැවතියත්, ජීවිතයේ හෙට දවස ගත කරන්නේ කෙසේද යන අවදානම පහව ගොස් තිබෙනවා.

වර්තමානයේ ස්ථාවර වී තිබෙන රටේ ආර්ථිකය වේගයෙන් වර්ධනය කර ගැනීමේ වගකීම අපට තිබෙනවා. පසුගිය වසර දෙක රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගත වුණා. ඒ කාලය තුළ රටේ ජනතාව ද රජයට විශාල සහායක් ලබා දුන්නා. ඒ වගේම මේ ගමනේ ඉතිරි කොටසත් ඉතා පරිස්සමින් යා යුතුයි. අපහසුතා දරාගෙන සිටි ජනතාවට සහන ලබා දීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා. කඩාවැටී තිබූ කෘෂිකර්මාන්තය නැවත නඟාසිටුවීමට පොහොර ප්‍රතිපත්තිය වෙනස් කළා.

එසේම ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් රට තුළ සිදු කළා. එදා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%කට වඩා අඩු මට්ටමක තිබුණේ. එම ප්‍රමාණය එය 16%ක් දක්වා වැඩි කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

සංචාරක ව්‍යාපාරය අපට පහසුවෙන් දියුණු කළ හැකි කේෂ්ත්‍රයක්. අද වන විට රටේ සංචාරක ව්‍යාපාරය යම් දියුණු මට්ටමක පවතිනවා. මේ වසරේ ලක්ෂ 25ක සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එදා අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ක්‍රියාත්මක කළ සැලසුම්වල ප්‍රතිඵල අද දක්නට ලැබෙනවා. ඒ වගේම විදේශ සංචිත වැඩි වෙමින් පවතිනවා.

එමෙන්ම කොළඹ වරාය තවදුරටත් සංවර්ධනය කිරීම, බහාලුම් හුවමාරු වැඩි කර ගැනීම වැනි සැලසුම් ද සකස් කරමින් පවතිනවා. මෙහිදී සැලසුම් සකස් කිරීමට වඩා වැදගත් වන්නේ විශ්වාසය ආරක්ෂා කිරීම බව කිව යුතුයි. කොළඹ වරායේ පර්යන්ත ප්‍රමාණය තවදුරටත් වැඩි කරගත යුතුයි.

අප රටේ තරුණ පරපුර තාක්ෂණය අතින් ඉතා දියුණු මට්ටමක සිටිනවා. එමඟින් විදේශ ආදායම් වැඩි කර ගැනීම වැනි විවිධ වැඩසටහන් සකස් කර තිබෙනවා. අපේ රටට, තරුණ පරපුරට හොඳ අනාගතයක් තිබෙනවා. නමුත් ජනතාව සහ රජය අතර විශ්වාසයක් නොමැති නම් රටක් දියුණු කළ නොහැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම රටට ඉතා වැදගත්. රට නැවතත් ආර්ථිකමය වශයෙන් ඇද වැටීමට ඉඩදිය නොහැකියි. විපක්ෂය මොන තරම් විවේචන කළත්, රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙනවා. ජාත්‍යන්තරයට අප රට කෙරෙහි විශ්වාසයක් ඇතිව තිබෙනවා. ඒ විශ්වාසය ගොඩනඟාගෙන රට ඉදිරියට ගෙන යෑමේ වැඩපිළිවෙළට සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි.

ඒ වගේම රටක් දියුණු වීමේදී මත්ද්‍රව්‍ය උවදුර ද මේ සමාජයෙන් බැහැර කළ යුතුයි. රට සංවර්ධනය කරා ගෙන යෑමේ විශාල කාර්යභාරයක් පැවරී තිබෙන තරුණ පරපුර මත්ද්‍රව්‍ය හේතුවෙන් විනාශ වෙනවා. අද අප ඇස්පනාපිටම ඒ තත්ත්වය අත්දකිනවා. ඒ නිසා තමයි රටෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ.

මත්ද්‍රව්‍ය උවදුර අපේ රටට පමණක් නොව ලෝකයටම තර්ජනයක් බැවින් එය නතර කළ යුතුයි. ඒ සඳහා ද සියලුම දෙනාගේ සහාය අවශ්‍යයි. රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන වෙනුවෙන් කැපවී සිටින පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට මා ස්තුතිය පුද කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36