spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නටන්න නැතුව හරිම අමාරුයි – හිමාලි සිරිවර්ධන

නර්තනයේ රංගනයේ දක්ෂතා පෙන්නුම් කළ ශිල්පිනියක් තමයි හිමාලි සිරිවර්ධන කියන්නේ. ඇය පසුගියදා රංගන නර්තන භුමිකා දෙකෙන් මදකට ඇත්වෙලා හිටියේ ඇය මවක් වු නිසාවෙන්. දැන් කලා කටයුතු ටිකෙන් ටික වැඩ පටන් අරන්ලු හිමාලි..

මම ටික කාලයක් කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියා. පුතා එක්කම කාලය ගත කළ නිසා.. ඒ වගේම අලුත් නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. එහි රුගත කිරීම් ළඟඳීම ආරම්භ වෙයි.

ඇත්තටම නර්තනය කියන්නේ මගේ ජීවිතයේ කොටසක් වගේ. අවුරුදු තුනක් විතර මට නර්තනයෙනුත් ඈත් වෙලා ඉන්න සිදුවුණා. නටන්න බැරුව හරි අමාරුවෙන් හිටියේ. පහුගිය කාලයම මම වෙන් කළේ පුතා වෙනුවෙන්. විනිශ්චය භූමිකාව එක්ක මට ආයෙත් අලුත් ජවයක් ලැබෙයි. ඒ වගේම මම ආයෙත් වැඩ පටන් ගත්තා කියන දේ දැනුම් දෙන්නත් මෙය හොඳ අවස්ථාවක් වෙයි. මොකද ගොඩක් අය මම ආයෙත් වැඩ පටන්ගෙන කියලා දන්නේ නෑ.

මම පුතා ලැබෙන්න මාස පහක් වෙද්දි තමයි සියලු වැඩවලින් නිවාඩු ගත්තේ. මම මහත් වුණ නිසා කිසිම වැඩසටහනකට අවුරුදු දෙක හමාරක් යනකල් සම්බන්ධ වුණේ නැහැ. මාව දකින්න ලැබුණේ නැති නිසා මෙහෙම කෙනෙක් හිටියද කියලා නිර්මාණකරුවන්ට අමතක වෙලා තිබුණේ. මෑතකදි මාව ආයෙත් දකින්න ලැබුණම බොහෝ අය මට කිව්වා අයියෝ ඔයා වැඩ කරන්න ගත්තද? අපි දන්නේ නැහැනේ කියලා. සමහර නිර්මාණවලට මාව මගහැරුණා.

ඔබව අමතකද ප්‍රේක්ෂකයන්ට ?

ප්‍රේක්ෂකයන්ට මාව අමතක වුණේ නැහැ. සමාජ මාධ්‍යවලින් ඔවුන් මට නිතර ප්‍රතිචාර ලබා දුන්නා. ආයෙත් වැඩ කරන්නේ නැද්ද කියලා හෙව්වා. රංගනයට නර්තනයට එකතු වෙන්න කියලා තමයි ඔවුන් මට නිතර කිව්වේ.

මම අවුරුදු තුනකට පස්සෙ රඟපාන්න ගත්තේ සඳගල තැන්න වගේ හොඳ නිර්මාණවලට දායක වෙන්න හිතේ තියාගෙන. සමහර අවස්ථාවල අපිට තැනේ හැටියට ඇණේ ගහන්න සිද්ධ වෙනවා. මම කැමැති ගණයේ නිර්මාණම හොය හොයා හිටියොත් තව කාලයක් යනකල් මට රංගනයට එකතු වෙන්න බැරි වෙන්න තිබ්බා. මොකද දැන් කලින්ට වඩා කලාත්මක නිර්මාණ කෙරෙනවා අඩුයි වගේම ඒවට අපිටම කතා කරයිද කියන්නත් බෑනේ. ඒ නිසා සිහින සමාගම වගේ මම කලින් කරලා නැති වෙනස් නිර්මාණයකටත් මම එකතු වුණා. මම ඒ චරිතයත් ආසාවෙන් කළේ. ඉදිරියේදි හොඳ වෙනස් නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා. එයට ටිකින් ටික පසුබිම නිර්මාණය වෙයි. මට ආරාධනා ලැබිලා තියෙන නිර්මාණයත් එවැනි කලාත්මක නිර්මාණයක්.

ඔබ දැන් මවක් කාර්යබහුල වෙන්න පුළුවන්ද නේද?

මම සාමාන්‍යයෙන් ගොඩ බඳාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉස්සරත් එහෙමයි. ඉස්සර වුණත් මම නර්තන කණ්ඩායමට මුල් තැන දුන්න නිසා අවුරුද්දට නාට්‍ය එකක් හෝ දෙකක් කළේ. මම හිතනවා නිර්මාණ ගොඩක් කරනවට වඩා හොඳ නිර්මාණ එකක් හෝ දෙකක් කරන එක හොඳයි කියලා. කොහොමත් පුතාගේ වැඩ සහ පෞද්ගලික ජීවිතයේ වැඩ රාජකාරිවලට බාධාවක් නොවෙන්න හැමදේම සමබර කරගන්න මට පුළුවන් වෙයි. මට කොහොමත් ඒ හුරුව තියෙනවා.

බබාගේ වැඩ මග නොහැරෙන එක තමයි එයාටත් වැදගත්. මගේ අක්කත් ඉන්නවා පුතාව බලාගන්න. මගේම කෙනෙක් ළඟ පුතාව තියලා යන්න මට බය නැහැ. මගේ අක්කා මාව බලාගත්තා වගේ එයා පුතාවත් බලා ගනියි කියලා මම දන්නවා. පුතාගේ වැඩ මග නොහැර කලා කටයුතුවලට එකතු වෙන්න සැමියාගෙන් මට නිදහස ලැබිලා තියෙනවා.

මට හිතෙන්නේ ඉස්සරත් නිර්මාණකරුවෝ මගෙන් හරි ප්‍රයෝජනය ගත්තේ නැහැ. මට දැනෙන නිර්මාණ කරන්න ලැබුණේ හරි අඩුවෙන්. මගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනය ගත්තා මදි කියලා හිතෙනවා. දැනුත් මගේ දක්ෂතාවයෙන් හරි ප්‍රයෝජනයක් ගනියිද කියන්න බැහැ. හැඳුනුම්කම් සහ වෙනත් හේතුත් තියෙනවානේ දැන් නිර්මාණවලට ගන්න. ඒ නිසා මගේ හැකියාවට සාධාරණයක් වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් ලැබෙන දෙයට මම සාධාරණයක් කරනවා.

ඔබට නිවාඩුවත් එක්ක හිරවුන වැඩ බොහෝ ඇති?

ඔරොත්තු දෙන්න ටිකක් අමාරු වෙයි. මම ඕන දෙයක් කරලා වැඩ ගන්න ලෑස්ති කෙනෙක් නෙමෙයි. මට කලකිරුණු අවස්ථාත් තියෙනවා ක්ෂේත්‍රයේ. මගේ සැමියා මාධ්‍ය ආයතනයක ඉන්න නිසා සමහර නාළිකාවලින් මාව වැඩවලට ගත්තේ නැති අවස්ථා තියෙනවා. ඇයි එහෙම වුණේ කියලා මම දන්නේ නැහැ. සැමියා වැඩ කරන නාළිකාවෙන්වත් මම එහෙම අවස්ථා අරගෙන නැහැ. කැපිලි කියන දේවල් මම ගණන් ගන්නේ නැහැ. මම මේ තැනට ආවේ මගේ දක්ෂතාවයෙන්. ඒ ආපු ගමන ගැන මම සතුටු වෙනවා. ඒ දක්ෂතාවයෙන්ම පවතින්න මිසක් වෙන දේවල්වලින් අවස්ථා ගන්න මට කවදාවත් ඕන වුණේ නැහැ.

රංගන ක්ෂේත්‍රය අරමුණු තියෙනවද?

මම හොඳ ටෙලි නාට්‍ය කරලා තියෙනවා. මට හොඳ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න අවස්ථා ලැබුණේ නැති තරම්. තානාපතිලාගේ ගෙදර සහ බ්‍රේකින් නිවුස් කියලා චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒ නිර්මාණ දෙක තවම තිරගත වුණේ නැහැ. මගේ නර්තන සහ රංගන හැකියාවෙන් හොද ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හොද සිනමා නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා. තවම එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ. මට ඇත්තටම තියෙන්නේ හොඳ නිර්මාණවලට සම්බන්ධවීමේ පිපාසාවක්. ඒ පිපාසාව තවම සංසිඳුවා ගන්න බැරි වුණා.

සෙන්සේෂන් නර්තන කණ්ඩායම කෝ?

නර්තන කණ්ඩායම ආයෙත් පටන් ගන්න අදහසක ඉන්නේ. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක සංදර්ශන අඩුවෙලා. නර්තන කණ්ඩායම පටන් ගත්තත් සීමා සහිතව වැඩ කරන්න වෙන්නේ. මට ගොඩක් කාර්යබහුල වෙන්නත් බෑ. ඒ නිසා නර්තන කණ්ඩායම පටන් ගන්න එක ටිකක් කල් දැම්මා. සමහර අය දන්නෙත් නෑ මම නර්තන කණ්ඩායම නතර කළා කියලා. සමහර අය මට වැඩවලට කතා කළාම තමයි දන්නේ මම නර්තන කණ්ඩායම නතර කරලා කියලා.

කලින් තිබ්බ ඉල්ලුම නැවැත හදාගන්න නර්තන කණ්ඩායමට පහසු වෙයිද?

නර්තන කණ්ඩායම නැවැත්තුවා කියලා දන්නෙ නැතිව නර්තන කණ්ඩායමට තාමත් ආරාධනා ලැබෙනවා. ඒ නමට තාමත් ප්‍රතිචාර තියෙනවා. සෙන්සේෂන් කණ්ඩායමට හොඳ ඉල්ලුමක් තිබ්බ නිසා ආයෙත් නර්තන කණ්ඩායම පටන් ගත්තත් ඒ ඉල්ලුම තියේවි. මොකද දැන් නර්තන කණ්ඩායම් තිබ්බත් හොඳ තත්ත්වයෙන් පවත්වා ගෙන යන එළිමහන් ප්‍රසංගවලට ගැළපෙන නර්තන කණ්ඩායම් සීමිතයි. නර්තන කණ්ඩායමට තාමත් ලැබෙන ප්‍රතිචාර එක්ක තේරෙනවා සෙන්සේෂන් කණ්ඩායමට තාමත් තැනක් තියෙනවා කියලා. ටික කාලයක් නර්තන කණ්ඩායමේ වැඩ නතර කළ නිසා අපිට අලුත් අදහස් නිර්මාණශීලී දේවල් එක්ක ආයෙත් හොඳ ආරම්භයක් තියෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

මමත් නර්තනයට පුදුම ආසයි. මටත් නටන්නේ නැතුව එක තැනක ඉන්න බෑ. බලමු නේ.

නර්තනයද රංගනයද ?

නර්තනයට වගේම රංගනයටත් මම ආදරෙයි. දශමයක් හරි නර්තනයට වැඩි ආදරයක් තියෙනවා. මම මොන වැඩේ කළත් පිළිවෙළට ආදරෙන් ඒ දේ කරනවා. හිමින් ගමන පිළිවෙළ ගමන සාර්ථක නිසා නර්තනය රංගනය දෙකම හිමින් සීරුවේ පිළිවෙළට ආදරෙන් කරගෙන යනවා. දුවන්නන් වාලේ දේවල් පස්සේ දුවන්න මම කැමැති නැහැ.

පුතා ගැනත් කතා කළොත් ?

ඔව්. පුතා එක්කම තමයි දැන් වැඩි කාලයක් ගත වෙන්නේ. හරිම කාර්යබහුලයි. කාලය ගෙවෙනවා තේරෙන්නේ නැහැ. දැන් පුතාට අවුරුදු දෙක හමාරයි. එයාගේ දග වැඩ බල බල හරිම ආසාවෙන් එයා එක්ක කාලය ගත කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?