ධම්මික පෙරේරාගේ තීරණය අද – බැසිල්ට ඉල්ලීම් රැසක්

හිටපු අමාත්‍ය ධම්මික පෙරේරා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (25) දිනයේ ගැනීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ධම්මික පෙරේරා අදාල මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් එම මන්ත්‍රී ධුරයට පත් කිරීමට තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති එස්. අමරසිංහ යන තිදෙනාගේ නම් මේ සඳහා යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊට වඩා වැඩි පිරිසක් අදාල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා.