දී ඇල් ඔයේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි යුවළගෙන් තරුණියගේ සිරුරත් හමුවෙයි

අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගොස් දියේ ගසාගෙන යාමෙන් අතුරුදන්ව සිටි තරුණ යුවළගෙන් තරුණියගේ සිරුර අද (09) දහවල් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දී ඇල් ඔයේ, වියලගොඩ ප්‍රදේශයේ කටු අකුලක රැඳී තිබිය දී අදාළ තරුණියගේ සිරුර සොයාගත් බවයි.

දියේ ගසාගෙන යාමෙන් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර, සිදුකළ මෙහෙයුම්වලදී ඊයේ (08) පස්වරුවේ සොයාගැනීමට හැකි වුණා.

ඒ අදාළ යුවළ ජල පහරට බිලි වූ ස්ථානයේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් තිබිය දීයි.

තරුණයාගේ සිරුර සොයාගත් ස්ථානයට මීටර් 300ක් පමණ ඉහළින් තිබිය දී තරුණියගේ සිරුර අද (09) සොයා ගැනීමට මෙලෙස හැකිව තිබෙනවා.

මොවුන් දෙදෙනා පෙරේදා (07) දී ඇල් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ, වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයෙන් බවයි පොලීසිය සඳහන් කළේ.

දියේ ගසාගෙන යාමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 19 හැවිරිදි කුඩාඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මොවුන් දෙදෙනා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවයි අනාවරණය වුණේ.