දිවි පරදුවට තබා කළ බඹර කැපිල්ල (ඡායාරූප)

පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ ඉංජිනේරු පීඨය යා කරමින් මහවැලි ගඟ හරහා ස්ථාපිත කර ඇති අක්බාර් පාලමේ බැඳ තිබූ දැවැන්ත බඹර වද 32ක් ඉතාමත් ආරක්ෂිතව කපා ඉවත් කිරීමට මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

මිනිසෙකුට හෝ සතෙකුට පවා පහසුවෙන් ළඟා විය නොහැකි ආකාරයෙන් මහවැලි ගංගා මට්ටමේ සිට අඩි 150ක් පමණ ඉහළින් පාලමේ යට පෙදෙසේ මෙම බඹර වද බැඳ තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් ඉතාමත් ආරක්ෂාකාරීව තාක්ෂණය උපයෝගී කරගනිමින් දැඩි වෙහෙසක් දරා එම බඹර වද ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය තවත් කෙටි කලකින් පැවැත්වීමට නියමිත අතර ඊට සරසවි සිසුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එදිනට සරසවි භූමියට එක්රොක් වනවා.

ඉන් බහුතරයක් පිරිස් අක්බාර් පාලම හරහා තම ගමන් පහසුව සලසා ගන්නා අතර එම අවස්ථාවේ පාලම කම්පනය වීමෙන් එහි යට සිටින බඹරුන් ඇවිස්සී පහරදීම නිරන්තරයෙන් සිදු වී තිබෙනවා.

මේ හේතුවෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය බිඟු සම්පත සුරැකීමේ සංවිධානයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව එම සංවිධානය විසින් වසර ගණනාවක සිට උපාධි ප්‍රදානෝත්සවයට පෙර මෙම බඹර වද ආරක්ෂිතව ඉවත් කිරීම සිදු කරනු ලබනවා.

එම සංවිධානයේ සභාපති සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහින්ද විජේසිංහ හා ප්‍රධාන ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට ඇතුලු සාමාජිකයන් අදාළ ස්ථානය වෙත ගොස් එම බඹර කූඩු වෙත ළංවිය හැකි ආකාරයෙන් පලංචි සකස් කර බඹරුන්ට හානි නොවන පරිදි ඉතාමත් සූක්ෂමව මෙම බඹර වද ඉවත් කිරීම ඊයේ සහ අද දිනයේ සිදු කරනු ලබනවා.

මෙම බඹර වද මහවැලි ගං මට්ටමේ සිට අඩි 150ක් පමණ ඉහළින් බැඳ තිබූ බැවින් බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් එම අවදානම තමා වෙත ගනිමින් ඉතාමත් අපහසුවෙන් අදාළ ස්ථාන කරා ළඟාවී කිසිවෙකුට හෝ අනතුරක් නොවන ආකාරයෙන් එම බඹර වද ඉවත් කර තිබෙනවා.

දැඩි අවදානමක් ගනිමින් වුවද ඉතාමත් සූක්ෂමව තාක්ෂණයට අනුව එම කටයුත්ත සිදු කළ බැවින් මෙම ක්‍රියාවලියේදී බඹරුන්ට මෙන්ම කිසිවෙකුට හෝ හානියක් සිදු වීමක් වාර්තා වන්නේ නැහැ.

මේ ආකාරයෙන් බිඟු සම්පත ආරක්ෂා නොකළහොත් ඉදිරියේදී ලොව පුරා දැවැන්ත ආහාර අර්බුදයක් උද්ගත විය හැකි බවයි එම සංවිධානයේ ප්‍රධාන ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මහතා ප්‍රකාශ කළේ.

මෙහිදී අදහස් පළ කළ බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන තාක්ෂණ නිළධාරී මහින්ද විජේසිංහ කියා සිටියේ ඇතැම් පුද්ගලයන් මී මැසි, බඹර වද කපා පැණි ලබා ගන්නා අවස්ථාවේදි මෙම බිඟුන් ගින්දරින් පුච්චා විනාශ කර එම කටයුතුවල නිරත වන බවයි.

එලෙස බිඟු සම්පත විනාශ කිරීම ඉතාමත් භයානක කටයුත්තක් බව සඳහන් කළ ඒ මහතා කියා සිටියේ මෙවන් කටයුතු හේතුවෙන් මේ වන විට විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බිගු සම්පත සීග්‍ර අඩුවීමකට ලක් වෙමින් පවතින බවයි.

මෙම සතුන්ට හිංසාවක් පීඩාවක් නොකරන්නේ නම් උන් කිසිවිටෙක පහර නොදෙන බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය ඉතාමත් අනර්ථකාරී තත්ත්වයක් බවත් මෙම බිඟු සම්පත ලොවෙන් තුරන් වුවහොත් මිනිසාට ආහාර නොමැතිව බඩගින්නේ මිය යාමට සිදුවන බවත් සඳහන් කළ ඒ මහතා පෙන්වා දෙන්නේ ලොව බොහෝ රටවල් බිගු සම්පත ආරක්ෂා කිරීම සඳහා මේ වන විට විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අනාරක්ෂිත ආකාරයෙන් පිහිටා ඇති මී මැසි, දෙබර, බඹර කූඩු ආරක්ෂිත ආකාරයෙන් කඩා ඉවත් කිරීමට තම සංවිධානය පියවර ගන්නා බව ද මහින්ද විජේසිංහ මහතා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28