බංග්ලාදේශයේ බන්ධනාගාර පද්ධතිය දැඩි තදබදයකට මුහුණ දෙමින් සිටින අතර, රට පුරා සිටින සිරකරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව බරපතළ ගැටලු මතුව තිබෙනවා.
බංග්ලාදේශයේ බන්ධනාගාර 75ක සිරකරුවන් 45,186 දෙනෙකු රඳවා තැබීමට පමණක් ධාරිතාව තිබුණද, මේ වනවිට එහි සිරකරුවන් 98,233 දෙනෙකු රඳවා සිටින බව වාර්තා වේ. එය පවතින ධාරිතාව මෙන් දෙගුණයකටත් වැඩි සංඛ්‍යාවක්.
අධික තදබදයත් සමඟ බන්ධනාගාරවල වෛද්‍ය පහසුකම්ද දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.
ඩකා මධ්‍යම බන්ධනාගාරයේ සිරකරුවන් 13,958 දෙනෙකු වෙනුවෙන් ස්ථිර වෛද්‍යවරයෙකු නොමැති අතර, අනුයුක්තව සිටින්නේ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණයි.
දිනකට සිරකරුවන් 500කට ආසන්න පිරිසක් බාහිර රෝගී අංශයට පැමිණෙන බවද සඳහන් වනවා.
රට පුරා බන්ධනාගාර වෛද්‍යවරුන් සඳහා අනුමත තනතුරු 151ක් තිබුණද, ඒවායින් පුරවා ඇත්තේ තනතුරු දෙකක් පමණක් බව වාර්තා වනවා.
හෙද නිලධාරීන් සහ ගිලන් රථ හිඟයද තත්ත්වය තවදුරටත් බරපතල කර තිබෙනවා.
පසුගිය වසරේ බන්ධනාගාරගතව සිටි පුද්ගලයන් 187 දෙනෙකු මියගොස් ඇති අතර, මේ වසරේ මේ දක්වා මරණ 122ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම අධික තදබදයට හේතු සොයා බැලීමකින් තොරව නව බන්ධනාගාර ඉදිකිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව විචාරකයෝ පෙන්වා දෙනවා.
දීර්ඝ නඩු විභාග, ඇප ලබා නොදීම, නීතිමය සහාය නොමැතිවීම සහ වැරදි හඳුනාගැනීම් හේතුවෙන් ඇතැම් පුද්ගලයන් වසර ගණනාවක් බන්ධනාගාරගතව සිටින බවද වාර්තා වනවා.
එබැවින් බංග්ලාදේශ රජය බන්ධනාගාර තදබදයට මූලික හේතු විමර්ශනය කර, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තැබීම් නීත්‍යානුකූලද යන්න සොයා බලා, සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතු බව විදෙස් මාධ්‍ය අවධාරණය කෙරෙනවා.
.













