spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දරුවන්ගේ බඩගින්න ඉවසාගත නොහැකි තැන ජීවිතයට සමුදුන් පියා

දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසුවාය.

ගෙල වැලලාගෙන මියගිය වැලිපැන්න හොලින්බෝන් ජනපදයේ පදිංචිව සිටි නාගරාජා රන්ජන් (37) නමැති සිව්දරු පියෙකි. ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වන මාඩසාමි මංජුලා (30) නමැති අය මරණ පරීක්ෂකවරයා ඉදිරියේ වැඩිදුරටත් මෙසේ කීවාය.

මියගොස් සිටින්නේ මගේ සැමියායි. අප විවාහ වෙලා අවුරුදු 14 ක් වෙනවා. අපට අවුරුදු 12 ට අඩු දරුවන් හතර දෙනෙක් ඉන්නවා. පුතාලා තිදෙනකු සහ එක දියණියක සිටිනවා. අපි තෙබුවන සහ නෑබඩ ප්‍රදේශවල සිට මීට මාස 9 කට පෙර සැමියාට රැකියාවක් සොයාගෙන වැලිපැන්නට ආවා.

මගේ සැමියාට ස්ථීර රැකියාවක් නැහැ. ඔහු කුලී වැඩක් කරලා ගන්න මුදලිනුයි අපි ජීවත්වුණේ. අපිට ඉන්න ස්ථීර ගෙයක් නැහැ. රුපියල් 3500 ක කුලියට ගත්ත කාමරයකයි අපි සිටියේ.අපිට ස්ථීර පදිංචියක් නැති නිසා දරුවන්ව පාසලකට දාන්න බැරිවුනා.

මගේ සැමියා වැලිපැන්න ප්‍රදේශයේ ඉඩමක් එළිකරන්න බාරගෙන තිබුනා. ඔහු ඒ සඳහා තවත් අයකු සම්බන්ධ කර ගත්තා. එම පුද්ගලයා සැමියාගෙන් වැඩිපුර මුදල් ලබාගෙන තිබුණා. ඉඩම හිමි අය නියමිත මුදල නොදුන් බව සැමියා කිව්වා. පසුගිය දින කීපයේම සැමියාට වැඩක් ලැබුණේ නැහැ.

දින තුනක සිට නිවසේ කෑමට කිසිවක් තිබුනේ නැහැ. අපිට කවුරුවත් ණයට මුදලක් හෝ බඩු දුන්නේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා කනස්සල්ලෙන් සිටියේ. ඔහු පසුගිය සිකුරාදා කීයක් හරි හොයාගෙන එන්නම් කියලා නිවසින් පිටවී ගියා. එයා එදින රාත්‍රියේ පැමිණියේ නැහැ. පසුදින දරුවන්ව තවත් බඩගින්නේ තියන්න බැරි නිසා මම නිවසේ තිබුණු පුටු දෙකක් විකුණා දරුවන්ට කන්න ගෙනත් දුන්නා. සැමියාට දුරකථන ඇමතුම් ගත්තත් ප්‍රතිචාර දැක්වුවේ නැහැ.

පසුව සැමියා ඥාතියකුගේ නිවසක් අසල ගෙළවැලලාගෙන මියගොස් ඇති බව දැනගන්න ලැබුනා.

අසරණ අපට කාගෙන්වත් පිළිසරණක් තිබුනේ නැහැ. දරුවන්ට කන්න දෙන්න බැරිවීම නිසා සැමියා මෙසේ සියදිවි හානිකරගන්න ඇතැයි සිතනවා. දැන් මම මගේ දරුවන් හතරදෙනා සමග තනිවුනා. දරුවන් කුඩා නිසා මට රැකියාවකට යන්නත් බැහැ. මමත් දරුවනුත් තවත් අසරණ වුණා යැයි පැවැසුවාය.

සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව මියගිය අයගේ මෘත දේහය පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල ජයනෙත්ති මහතා විසින් නියෝග කළ අතර වැලිපැන්න පොලිසියේ පොලිස් සැරයන් ජයරත්න සාක්‍ෂි මෙහෙයවීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?