තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට – ජල සම්පාදන මණ්ඩලය

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මේවන විට නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය පරිදි ජල සැපයුම නැවත බෙදාහැරීම සඳහා අවශ්‍ය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුකර නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් අනතුරුව, ජල සැපයුම නැවත බෙදාහැරීම සඳහා කටයුතු සිදුකර ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.

කෙසේ වෙතත්, ජල පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රදේශ වෙන ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට
පත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමේ දී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද එම මණ්ඩලය දැනුම්දෙනවා.

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන මෙම පියවර සඳහා ජනතාවගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බවයි ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

‍කැලණි ගඟෙන් ජලය ලබා ගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපා ඇති හදිසි තත්ත්වයක් හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබුණා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද (25) අලුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිට වූ බවයි.