spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දුර්වලතා රැසක් කෝප් කමිටුවේදී හෙළි වෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරිපාලන දුර්වලතා රැසක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව හෙළි වී ඇති අතර වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් තුළ ස්ථිර පත්කිරීම් කඩිනම් කිරීමටයි කමිටුව නිර්දේශ කර ඇත්තේ.

2011 වසරේදී රුපියල් මිලියන 10,000කට ආසන්න මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා තිබෙනවා.

පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5ක අලාභයක් ලබා ඇතැයි හෙළිවී ඇති අතර 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද සඳහන්.

ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කර පරිගණක පද්ධතියක් සකස් කිරීම කඩිනම් කිරීමටත් කෝප් කමිටුව නියෝග කර තිබෙනවා.

විශාල සේවක ප්‍රමාණයක් පුහුණු සේවකයන් ලෙස බඳවා ගැනීම පිළිබදව ද කමිටුව ප්‍රශ්න කළා.

ණය එකතු කර ගැනීම සහ ණය ලබා දීමේ ක්‍රමවේදය මෙන්ම ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය පිළිබද සවිස්තර වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙසට ද නිර්දේශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳවා තිබුණා.

මෙහිදී 2019 සහ 2020 වසර සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබදව විමර්ශනය කිරීමයි සිදු වූයේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් W.S සත්‍යානන්ද, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, සාමාන්‍යාධිකාරි (වැඩබලන) K.A ජානක යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබුණා.

මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ජ්‍යේෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක්ම වැඩබලන තනතුරු ලෙස පැවතීම

අධිකාරියේ සාමාන්‍යධිකාරී තනතුර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව අනාවරණය විය. මෙහිදී ලේකම්වරයා පවසා සිටියේ මෙම අධිකාරිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව බඳවා ගැනීම් සිදු කර ඇති බැවින් එය නිවැරදි මාවතට ගැනීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බවයි. තවද උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර කමිටුවක්ද පත්කොට මෙම තනතුරු ස්ථිර කිරීම සදහා නැවත සමාලෝචනය කරමින පවතින බවත් අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

මෙම ආයතනය රුපියල් බිලියන ගණනක් හුවමාරු වන ආයතනයක් බැවින් අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) තනතුර පවා වැඩබලන තනතුරක් වීම විශාල ගැටළුවක් බැවින් මේ තත්ත්වය ඉක්මනින්ම නිවැරදි කරන ලෙස ද විගණකාධිපතිවරයා දන්වා සිටියේය.

මෙහිදී අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ වැඩබලන තනතුරු 16න් සුදුසුකම් ඇත්තේ 5කට ආසන්න පිරිසකට බවයි. මේ අනුව අභ්‍යන්තරිකව සුදුසුකම් සහිත පුද්ගලයන් මෙම තනතුරුවලට පත් කිරීමට කටයුතු කරන ලෙසද බාහිරින් ද සුදුසුකම් සහිත පුද්ගලයන් බඳවා බඳවාගැනීමට කටයුතු කරන ලෙස ද නියෝග කෙරිණි. මේ අනුව මේ සදහා වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත් එම ක්‍රමවේදය සති දෙකක් තුළ කාරක සභාවට දැනුම් දෙන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටුව විසින් නියෝග කරන ලදී. තවද වර්තමානයට ගැළපෙන පරිදි තනතුරු ප්‍රතිසංවිධානය කරන ලෙසද උපදෙස් දුන්නේය.

කිසිදු ඇපයකින් තොරව රු. මිලියන 10000ක්ට ආසන්න මුදලක් ණය වශයෙන් ලබා දීම

ආයතනයේ සමුච්චිත අලාභය රුපියල් බිලියන විස්සකට ආසන්න බව මෙහිදී අනාවරණය විය. එසේම පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5 ක අලාභයක් ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. තවද රුපියල් බිලියන 10 ක පමණ මුදලක් ණය ලාභීන්ගෙන් එකතු කර ගැනීමට නියමිතව ඇති බවත් හෙළිවිය.

විවිධ ආණ්ඩු සහ අමාත්‍යවරුන්ගේ පාලනය හමුවේ අධිකාරියේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බව මෙහිදී වත්මන් සභාපතිවරයා පෙන්වා දුන්නේය. 2011 වසරේදී ‘උපහාර’ නම් නිවාස ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් මිලියන 10,000 කට ආසන්න මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලාභීන්ට ලබාදී ඇති බව මෙහිදී හෙළි විය. රාජ්‍ය බැංකු හරහා ලබා දී තිබූ මෙම ණය මඟින් ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් පමණක් බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය තුළ මෙම මුදල් අය කර ගැනීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත්, තවත් බිලියන තුනකට අධික ප්‍රමාණයක අයකර ගැනීමට ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මේ අනුව මෙම ණය යෝජනා ක්‍රමය පිළිබඳව සංක්ෂිප්ත වාර්තාවක් කඩිනමින් කමිටුවට ලබා දෙන ලෙස කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය. තවද ආයතනයේ වත්කම් ඇපයට තබාගනිමින් මෙවැනි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා කඩිනමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසද පැමිණ සිටි භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරුන්ට නිර්දේශ කරන ලදී.

වාර්ෂික වාර්තා ප්‍රමාද වීම

අධිකාරිය 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොතිබීම ගැන දැඩි අප්‍රසාදය පළ විය. මේ අනුව 2019, 2020, 2021 යන වසරවල වාර්ෂික වාර්තා 2023 නොවැම්බර් 17 දිනට පෙර ද 2022 වාර්ෂික වාර්තාව දෙසැම්බර් 31 ට පෙර ද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි.

සියලු දිස්ත්‍රික්කවල ණය දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් සැකසීම

නිවාස සඳහා ලබාදී ඇති ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් තවමත් සකස් කර නොමැති බව මෙහිදී අනාවරණය විය. මේ අනුව කඩිනමින් ඒකාබද්ධ දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. මෙම හේතුවෙන් විශාල වශයෙන් මේ වන විට වංචා සිදු වී ඇති බව ද විගණකාධිපතිවරයා හෙළි කළේය. නිලධාරීන් පැවසුවේ දැනටමත් සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් දත්ත පද්ධතියක් සැකසීම ආරම්භ කර ඇති බවත් දෙසැම්බර් 31 වන විට සියලු කටයුතු අවසන් කරන බවයි.

අතරමග නතර වී ඇති නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු නැවත ඇරඹීම

පැවති ආර්ථික තත්ත්වය හේතුවෙන් වැඩ ආරම්භ කර ඇති නිවාස 98000ක ඉදිකිරීම් කටයුතු අතරමඟ මේ වන විට නතර වී ඇති බවද අනාවරණය විය. මෙම නිවාස ඉදිකිරීම් නිම කිරීමට තවත් රුපියල් මිලියන 24000ක් අවශ්‍ය බවද මේ වන විට රුපියල් මිලියන 3750 ක් වෙන් කර ඇති බවද සභාපතිවරයා පැවසීය. මේ අනුව ඉදිරියේදී මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශයට ඉල්ලීම් කර ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විශාල සේවක ප්‍රමාණයක් පුහුණු සේවකයන් ලෙස බඳවාගෙන බඳවා ගෙන තිබීම

මෙහිදී අනාවරණය වූයේ 2015- 2019 කාලයේ දී පුහුණු සේවකයන් 5296 බඳවා ගෙන ඇති බවත් ඉන් 2800කට ආසන්න ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති බවත්ය. ඔවුන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා යොදවා ඇති බවත් ඔවුන් සඳහා වැටුප් ලෙස රුපියල් මිලියන 2148 ක් ගෙවා ඇති බවත් අනාවරණය විය. නිලධාරීන් පවසා සිටියේ අනවශ්‍ය පුහුණු සේවක පිරිස ඉවත් කිරීමෙන් පසු මේ වන විට පුහුණු සේවකයන් 167 දෙනෙකු පමණක් සේවය කරන බවයි.

විශේෂ නිර්දේශ ත්‍රිත්වයක්

මෙහිදී ණය එකතු කර ගැනීමේ ක්‍රමවේදය, ණය ලබා දීමේ ක්‍රමවේදය සහ ඉඩම් බැහැර කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය පිළිබද සවිස්තර වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙස කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී. එසේම වඩාත් විනිවිද බවකින් යුතුව ඉඩම් පිළිබදව ලේඛනයක් වෙබ් අඩවියේ හෝ වෙනයම් ක්‍රමයකට ප්‍රසිද්ධ කිරීම සිදු කරන ලෙසට ද නියෝග කෙරිණි.

එසේම මාස තුනකින් නිවාස සංවර්ධන අධිකාරිය නැවත කැදවීමටත් තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?