විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භකර තිබෙනවා.
ඒ, අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ හා ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lk ඔස්සේ අයදුම්පත, උපදෙස් පත්‍රිකාව සහ සියලුම තොරතුරු භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.03.20 වන දිනට ප්‍රථමව අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදීම අත්‍යාවශ්‍ය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කලාප, පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා දිවයිනේ සියලුම රජයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එම චක්‍රලේඛය අනුව එක් එක් පාසලින් සුදුසුකම්ලත් සිසු දරුවන් තෝරාගැනීම කලාප සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සිදු කෙරෙනවා.
මෙම කමිටු මඟින් චක්‍රලේඛයෙහි සඳහන් සියලුම නිර්ණායක සහ විධිවිධාන සැලකිල්ලට ගනිමින් සුදුසුකම්ලාභීන් තෝරාගැනීම සිදුකළ යුතු අතර, මෙම ක්‍රියාවලියේ දී කමිටු සාමාජිකයින් පූර්ණ විශ්වාසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ජනාධිපති අරමුදල අපේක්ෂා කෙරෙනවා.
තවද මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ කිසිඳු අයදුම්පතක් ඍජුවම ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් වළකින ලෙස ද ජනාධිපති අරමුදල අවධාරණය කර සිටිනවා.
පාසල් මඟින් තෝරාදෙනු ලබන සුදුසුකම් ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිතයි.
මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.













