ජනක රත්නායක සහ ගයත්‍රි බිම්බාගේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව ගයත්‍රි බිම්බා නමැති කාන්තාව මෙම අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු වී නොමැති බව නීතිපතිවරයා අද (30) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන්නා.

එමෙන්ම ජනක රත්නායක වෙතින් තමාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගයාත්‍රී බිම්බා නමැති කාන්තාවක් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ තවත් පොරොන්දුවක් ලබාදෙනු ලැබුවා.

මේ වනවිට විදේශ ගතව සිටින ගයාත්‍රි බිම්බා නමැති කාන්තාවක් විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂනිල් කුලරත්න විසින් මෙම ප්‍රතිඥා ලබාදීම සිදුකළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුනා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාව ජනක රත්නායක සමඟ වසර 17 ක් පමණ සමීප සම්බන්ධතාවයක් පවත්වා තිබෙන බව සඳහන් කළා.

ජනක රත්නායක මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා මාසයකට රුපියල් 375,000 වියදමක් දරා පෙත්සම්කාරියට අයත් සමාගමින් “මර්සිඩිස් බෙන්ස්” වාහනයක් ලබාගෙන තිබූ බවත් මේ පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවේ “කෝප්” කමිටුවේ දී අනාවරණය වූ බවත් නීතිඥ හෆීල් ෆාරිස් සඳහන් කළා.

ඉන් අනතුරුව මීට අදාළව අල්ලස් කොමිසම විසින් පරීක්ෂණයක් ආරම්භ කෙරුණු බවත් ඉන් පසුව සිය සේවාදායිකාවට ජනක රත්නායක වෙතින් විවිධ බලපෑම් සිදුවන්නට පටන් ගත් බවත් සඳහන් කළ නීතිඥවරයා අදාළ කාන්තාව හා සම්බන්ධ වීඩියෝ පටයක් මුදාහරින බවට ඔහු විසින් ඇයට තර්ජනය කර තිබූ බවත් අධිකරණය හමුවේ සඳහන් කළා.

මීට අදාළව පෙත්සම්කාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකළ බවත් එම පැමිණිල්ල නිසියාකාරව විභාග නොවීම හේතුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවත් නීතිඥවරයා සඳහන් කළා.

මේ අතර ජනක රත්නායක විසින් ද තම සේවාදායකයාට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිල්ල මත තම සේවාදායකයිකාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් මතුව තිබෙන බවත් නීතිඥ හෆීල් ෆාරිස් සඳහන් කර සිටියා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෂනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සමට එරෙහිව තමා මූලික විරෝධතා මතු කරන බව කියා සිටියා.

ජනක රත්නායක සිදුකර ඇති පැමිණිල්ලට අදාළව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැමිණිලිකාරිය විසින් සිදුකර ඇති පැමිණිල්ල අදාළව පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් සඳහන් කර සිටියා.

අනතුරුව අදාළ පෙත්සම නොවැම්බර් මස 15 වනදා කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින මෙම විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළා.

  1. THERE WERE SEVERAL JANAKA RATHNAYAKES IN THE SOCIETY. TH POPULAT ONE IS ARTIST, THE SENCOND ONE IS THE OWNER OF FORMER COMPUER ISLAND 9PVT) LTD. WAS IN COLOMBO 04. I THINKS HE THE PERSON HERE WE ARE TALKING ABOUT. HE IS NOT A BAD PERSON BUT THERE ARE NO GOOD PEOPLE AND BAD PEOPLE. PEOPLE TURN GOOD OR BAD ACCORDING TO THE SITUATION,PLACD,AGE,NEED AND PLACE.