2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොටගත් වත්මන් රජයේ පරිසර ප්‍රතිපත්තිය තුළ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා.
ඒ අනුව, තිරසර සංවර්ධන රාමුව තුළ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට ශ්‍රී ලංකාව මේ වන විට සක්‍රීයව දායක වෙමින් සිටිනවා.
මෙකී වැඩපිළිවෙළට අනුකූලව 2026 ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ප්‍රමුඛ රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වයෙන් දිවයින පුරා විවිධ පාරිසරික වැඩසටහන් රැසක් සංවිධානය කළා.
එමෙන්ම, මෙවර ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
වැඩිදියුණු කරන ලද ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දීම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරිමද මෙහිදී සිදු කෙරුණා.
“සොබා” පාරිසරික සඟරාව 2026 පළමු කලාපය, “සොබා කෙත” පාරිසරික සඟරාව සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සම්පත් පොත එළිදැක්වීමද මෙහිදී සිදුවුණා.
මෙවර ජාතික පරිසර දින සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස ඉටු කළ බවට වන සහතිකය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදුවුණා.
දේශගුණික විපර්යාස අංශය විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානයට සහ ජගත් පරිසර දින තේමාව යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද පරිසර හිතකාමී නව නිපයුම් සහ නිර්මාණවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමට ද ජනාධිපතිවරයා එක්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක පාරිසරික පර්යේෂකයින් සමග සමූහ ඡායාරූපයකටද එක්වුණා.
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි,
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජගත් පරිසර දිනය 1972දී නම් කළා. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ සමරන දෙවැනි ජගත් පරිසර දිනයයි අද සමරන්නේ. අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව මේ ජගත් පරිසර දිනයට සමගාමීව වනාන්තර පහක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. රිටිගල, අලියාවැටුණවැව, මුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලංචිය යන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වනාන්තර පහක් මෙලෙස අපි විසින් ක්‍රියාත්මක කරන වනස්පති වැඩසටහන යටතේ රක්ෂිත ලෙස නම් කළා. අපි රක්ෂිත නම් කිරීම ආරම්භ කළේ 2025 ජගත් පරිසර දිනයේ සිටයි. එදා අපි නිල්ගල, කොට්ටව, තුල්හිරි කන්ද, වේරහැර හා උඩලියද්ද වනාන්තර රක්ෂිත බවට පත් කළා.
අපි වනස්පති වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළේ පසුගිය වසරේ ජුනි 15 වනදා. අපි පරිසර අමාත්‍යාංශය ලෙසත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලෙසත් 2025 වසරේදි වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරිමට සමත් වුණා. 2026 වසරේ ලෝක වනාන්තර දිනයේදි තවත් රක්ෂිත 50ක් අම්පාර, නුවරඑළිය, බදුල්ල, ඇතුළු දිස්ත්‍රික්ක හතරක් මූලික කරගෙන ප්‍රකාශයට පත් කළා. මීට මසකට පමණ පෙර පැවැති ඒහි පස්සිකෝ සාම පා ගමනට සමගාමීව තවත් වනාන්නර දෙකක් රක්ෂිත බවට පත් කළා. අද ප්‍රකාශයට පත් කළ වනාන්නර පහත් සමග වසරක් ඇතුළත රක්ෂිත 86ක් ප්‍රකාශයට පත් කරන්න අපි සමත් වී තිබෙනවා. එය විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.
අලි මිනිස් ගැටුම නිරාකරණය කිරීමට අපි විශාල වෙහෙසක් ගෙන කටයුතු කරනවා. අපේ සිහිනයක් තමයි අලින්ගේ වාසස්ථාන හරහා ගමන් කිරීමට ඔවුන්ට මාර්ග විවෘත කර දීම. අද අපි සමත් වී තිබෙනවා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහි අලිමංකඩ තුනක් විවෘත කරන්න. මෙවැනි අලිමංකඩ විවෘත කිරිමටත් අලි කළමනාකරණ රක්ෂිත නිර්මාණය කිරිමටත් අපි පසුගිය කාලය තුළ විශාල වෙහෙසක් දැරුවා. වසර කිහිපයකට පෙර හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයක් ප්‍රකාශයට පත් කර තිබුණත් ඊට අදාළ නිතී රෙගුලාසි සකස් කර අදාළ යාන්ත්‍රණයක් සකස් කර තිබුණේ නැහැ. අපි ඒ සඳහා නීති රෙගුලාසි ගැසට් කර මෙහෙයුම් කමිටුවක් පත් කර මේ වන විට වැඩ පටන් අරන් තිබෙනවා. මේ කටයුතු සිදුකිරීමේදී අපි දැක්කා වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල මානව හා භෞතික සම්පත්වල හිගයක් පවතින බව. අපි එයට විසඳුම් ලෙස පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කළා. ඒ වගේම අදාළ ආයතනවලට, නිලධාරීන්ට වැඩ කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සඳහා යතුරුපැදි, ට්‍රැක්ටර්, අත්ට්‍රැක්ටර් හා කැබ් රථ වැනි වාහන මිලදී ගැනීමට මැදිහත් වුණා.
හීලෑ අලි ඇතුන් කළමනාකරණයටත් අපි ප්‍රතිපත්තියක් සකස් කිරිමට මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපේ රටේ අඩුවක් ලෙස පවතින අලි අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පින්නවල අලි අනාථාගාරය සංවර්ධනය කිරිමට කටයුතු කරමින් සිටිනවා. පරිසරය ආරක්ෂා කිරිමේදි මේ රටේ පවතින නිති රීති අණ පනත් යල් පැන ගිය ඒවා. අපි ඒ අණ පනත් සංශෝධනය කිරීමට මේ වන විට ක්‍රියා කරමින් සිටිනවා.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ආර්.එච්.එම්.පි. අබේකෝන්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.එල්. ආර්.පි. මාරසිංහ සහ පරිසරවේදීන්, පර්යේෂකයන්, විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.













