චීනයේ බලපෑම් නිසා නේපාලය ලොකු වැඩක් අතරමැද නවතා දමයි

චීනයෙන් එල්ල වූ දැඩි රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් හමුවේ, ටිබෙට් අධ්‍යයනය පිළිබඳ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ශාස්ත්‍රීය සමුළුවක් අවසන් මොහොතේ අවලංගු කිරීමට නේපාල රජය පියවර ගෙන තිබෙනවා.

වසර හතරක පමණ කාලයක් සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ටිබෙට් අධ්‍යයන සංගමයේ 17 වැනි සමුළුව නේපාලයේ කත්මණ්ඩු විශ්වවිද්‍යාලයේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණා.

නේපාල රජයේ ප්‍රධාන ලේකම් ගෝවින්ද බහදූර් කර්කී විසින් කත්මණ්ඩු විශ්වවිද්‍යාලයට සමුළුව අවලංගු කරන බව දැනුම් දී ඇති අතර, ඒ සඳහා විදේශ ලේකම් අමෘත් බහදූර් රායි සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව තීරණය ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, සමුළුවට ආරක්ෂක තර්ජනයක් නොමැති බව නේපාල ආරක්ෂක හා බුද්ධි අංශ විසින් සිදුකළ ඇගයීම් කිහිපයකදී නිගමනය කර තිබූ බව වාර්තා වනවා.

එම ආයතන රජයට නිර්දේශ කර තිබුණේ සමුළුව අවලංගු කිරීම වෙනුවට එහි කටයුතු නිරීක්ෂණය කිරීම ප්‍රමාණවත් බවයි.

එමෙන්ම සමුළුව පැවැත්වෙන බවට නේපාල අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුදාන් ගුරුං මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධියේ සහතික වී තිබුණද, අවසන් තීරණය කැබිනට් මණ්ඩලය හරහා සමාලෝචනයකින් තොරව ගෙන ඇති බවටද වාර්තා පළ වනවා.

චීනයේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා.

නේපාලයේ චීන තානාපති ෂැං මාඕමින්, විදේශ ලේකම් අමෘත් බහදූර් රායි සමඟ සාකච්ඡා කර ටිබෙට් හිතවාදී අදහස් ප්‍රකාශ කළ හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා ඇති බව සඳහන් වනවා.

කෙසේ වෙතත්, සමුළුවේ සංවිධායකයන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම ශාස්ත්‍රීය අරමුණු මත පැවැත්වෙන සමුළුවක් බවයි.

දේශපාලන ක්‍රියාකාරීන් හෝ ටිබෙට් හිතවාදී ක්‍රියාකාරීන් සමුළුවට ආරාධනා කර නොතිබූ අතර, චීනයේ පීකිං විශ්වවිද්‍යාලය සහ රාජ්‍ය අනුබද්ධ පර්යේෂණ ආයතනවල විද්වතුන් ඇතුළු චීන විද්වතුන් සියයකට ආසන්න පිරිසක්ද සමුළුවට සහභාගි වීමට ලියාපදිංචි වී තිබූ බව වාර්තා වනවා.

ටිබෙට් සංස්කෘතිය, භාෂාව සහ දලයි ලාමා සම්බන්ධ සංවේදී කරුණු සමුළුවේදී සාකච්ඡා වීමට ඉඩ ඇති බැවින් චීන බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවද සඳහන් වනවා.

චීනයේ ජනවාර්ගික එක්සත්කම පිළිබඳ නව නීතිය ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වීමත් සමඟ ලොව පුරා ටිබෙට් සම්බන්ධ වැඩසටහන් කෙරෙහි බීජිං පාලනයේ අවධානය තවදුරටත් දැඩි වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

මේ අතර, ජාත්‍යන්තර ශාස්ත්‍රීය කටයුතුවලට දේශපාලන බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් විද්වතුන් අතර දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා.

චීනයේ බලපෑම නේපාලයේ ස්වෛරී තීරණ ගැනීමේ ක්‍රියාවලියට කෙතරම් දුරට බලපාන්නේද යන්න සම්බන්ධයෙන්ද ප්‍රශ්න මතුව තිබෙනවා.

සමුළුවේ සත්කාරකත්වයෙන් කත්මණ්ඩු විශ්වවිද්‍යාලය ඉවත් වීමත් සමඟ, ජාත්‍යන්තර ටිබෙට් අධ්‍යයන සංගමය සමුළුව වෙනත් රටක පැවැත්වීමේ හැකියාව පිළිබඳව මේ වනවිට සලකා බලමින් සිටින බව වාර්තා වනවා.