spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update -ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුවට ආ හැටි හෙළිවෙයි

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදන් වූ බව කියූ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට තිබී සොයා ගැනුණා.

මෙම මෝටර් රථය එම ගරාජය ඉදිරිපිටට රැගෙන ආ ආකාරය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම රථය පසුගිය 31 වනදා රාත්‍රියේ ආපදා රථයකින් අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බවයි පරීක්ෂණ සිදුකරන පොලිසියට හෙළිව ඇත්තේ.

එය කටුනායක අධිවේගි මාර්ගයේ ජා ඇල පිටවුමේ දී කාර්මික දෝෂයකට ලක්ව ආපදා රථයකින් රැගෙන එන ආකාරය මාර්ගයේ සවිකර ඇති ආරක්‍ෂිත කැමරවල සටහන්ව තිබෙනවා.

තම ගරාජය ඉදිරිපිට මාර්ගයේ දින කිහිපයක සිට හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් සැකකටයුතු ලෙස නවතා තිබෙන බවට නිරීක්ෂණය වීමෙන් පසු ගරාජයේ හිමිකරු විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇති බව සඳහන්.

අනතුරුව පොලිසිය එහි පැමිණ ගරාජයේ ආරක්‌ෂිත කැමරා පරීක්ෂාකර බලා ඇති අතර, ආපදා රථය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත් පසුව මෝටර් රථය එම ස්ථානයේ තබා ඔවුන් ආපදා රථයේම නැඟී පිටව යන ආකාරයත් එම දර්ශනවල පටිගත වී තිබෙනවා.

මෝටර් රථය රැගෙන පැමිණි ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන ඇති අතර, ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

පැලවත්ත තෙමහල් නිවසක ඉහළ මාලයේ පිහිටි පිහිණුම් තටාකයේ දී අභිරහස් ලෙස මිය ගොස් සිටිය දී අදාළ ව්‍යාපාරිකයාගේ සිරුර ඊයේ (02) සොයා ගත්තා.

රොෂාන් වන්නිනායක නමැති 50 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා කවුරුන් විසින් හෝ ඝාතනය කර ඇති බවට සිදුකළ විමර්ශන වලදී හැඟීයන බවයි පොලිසිය මීට පෙර සඳහන් කළේ.

මෙම අපරාධය සිදුකළ කවුරුන් හෝ ඇතැම් විට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට ද සැකයක් පවතින බව ද සඳහන් කර සිටියා.

මළසිරුර සොයා ගැනීමට පෙර, ඔහු දින කිහිපයක සිට අතුරුදන් ව ඇති බවට ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශන වලදීයි ඔහුගේ සිරුර ඊයේ (02) දින මෙලෙස සොයාගනු ලැබුවේ.

සිරුර සොයාගන්නා අවස්ථාවේ දීත් ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය අස්ථානගත වී ඇති බවට හෙළිව ඇති අතර, ඔහුගේ ණය කාඩ් පත භාවිත කරමින් තායිලන්තයට ගුවන් ටිකට් පත් දෙකක් වෙන් කරවාගෙන ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව එම ණය කාඩ් පත භාවිත කරමින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආසන්නයේ දී වතුර බෝතල් දෙකක් ද මිල දී ගෙන ඇති බවට ද විමර්ශනවල දී හෙළි කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?