ගෙවුණු පැය 24 දී අයිස් සමග දෙදෙනකු අත්අඩංගුවට ගැනේ

ගෙවුණු පැය 24 තුළ දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම නිරත වූ පුද්ගලයින් දෙදෙනකු ස්ථාන දෙකක දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ එක් සැකකරුවෙකු වෙරළබඩ පොලිස් වසමේ රත්නම් පාර ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 153ක් සොයාගෙන ඇති අතර සැකකරු 17 හැවිරිදි වියෙහි පසුවන කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට 35 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ද පොලිස් අත් අඩංගුවට ගැනුණා.

කිරුළපන පොලිස් වසමේ හේනමුල්ල ප්‍රදේශයේ දීයි මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කුත් මිලිග්‍රෑම් 520ක් සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.