ගුවන්තොටුපළේ වැසිකිලියේ දමාගිය මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ” කුෂ්” සහ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථ අංක 05 අසළ පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) අලුයම සොයා ගෙන තිබෙනවා.

මෙහි ” කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 422 ක් සහ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 262 ක් වෙන වෙනම අසුරා තිබියදී සොයාගත් බව එම නිලධාරීන් සඳහන් කළා. .

මෙම වැසිකිළියෙහි සේවය කළ සේවකයා අලුයම 01.30 ට පමණ මෙම මලු දැක ඇති අතර, ඒ පිළිබද කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කර මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන යති බවයි වාර්තාවන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශනයන් සිදු කරනවා .