කෝටි 20කට වැඩි හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ ගුවන් මගියෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් විසිකෝටි දහඅට ලක්ෂ අනූ දහසක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් මගියෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (26) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැනඩා ජාතික 27 හැවිරිදි ගුවන් මගියෙක්.

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් මිල දී ගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරණ ගුවන් යානයෙන් අද (26) අලුයම 02.30ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 20යි ග්‍රෑම් 117ක ප්‍රමාණය කුට්ටි 80ක් ලෙස සකස් කර රැගෙනවිත් තිබුණා.

වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම කැනඩා ජාතිකයා සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.