කෝටි හතරක කුෂ් කටුනායකින් පන්නද්දී කොළඹ කොල්ලෝ තුන්දෙනෙක් මාට්ටු

රුපියල් කෝටි හතරක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙරටට පැමිණ , ඒවා කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිම කර ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙක් ඊයේ (19) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් තිදෙනා අතර 34 හැවිරිදි කොළඹ 12 , 26 හැවිරිදි කොළඹ 15 සහ 26 හැවිරිදි වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි රියැදුරුවරුන් ලෙස සේවය කරන පුද්ගලයන් බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් ඊයේ රාත්‍රී 08.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාර්සල් 04 ක් ලෙස සකස් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 22 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබිය දී මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .

මොවුන් සමග මෙම මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා අද (20) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.