කොරෝනා මර්ධන කමිටුවේදී අද ගත් තීන්දු මෙන්න

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා, අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් කෙරිණ.

එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාා පෙන්වා දුන්නේය.

මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාධනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල් ගත කළ යුතුය. එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මණින් රෝහල්වලින් පිටව යාම වාර්තා වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් ආසාධිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගිය හොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාතික ආර්ථිකය ද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ස.තො.ස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිළි කළේය.

දිවයිනම ආවරණය වන පරිදි ජනතාවට දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විස්තර කළේය.

මෙම වසංගත තත්ත්වය සහ ඉන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් නිසි මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව සඳහන් කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම කටයුතු සම්බන්ධීකරණය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන බව ද පැවසීය.

නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීමේ වගකීම මහජනතාවට පැවරෙන බව කොවිඩ් මර්දන කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58