“කොතන හරි අපට වැරදුණා. ඇත්තටම අපි වරද්දගෙන ඉවරයි.” – ලෙලුම් රත්නායක

මම සින්දු 11ක් අලුතෙන් කළා. ලොක්ඩවුන් කාලේ ගෙදරට වෙලා සින්දු හැදුවා. තුෂාන්ත කාරියවසම් ගීත රචනා කළා. අපේ පවුලේ සංගීත අනන්‍යතාව ඉදිරියට ගෙනයන්න ඉන්නෙ මම නිසා ඒ ගැන හිතලා සුභාවිත ගීත නිර්මාණ කිහිපයක් කළා.

සුභාවිත ගීතයට ඉඩක් තියෙනවාද….?
යම් ඉඩක් යාන්තම් වගේ ඉතිරි වෙලා තියෙනවා. ඉඩක් හැදෙයි කියලා යහපත් බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් බැලූ බැල්මට නම් ඉඩක් පේන්න නැහැ තමයි.

එතකොට මේ නිර්මාණ යුටියුබ් එකට විතරක් ද…?
යූටියුබ් එකේ සබ්ක්‍රයිබර්ස්ලා වැඩි කර ගන්න, ලයික් වැඩි කර ගන්න කියලා නම් මම නිර්මාණ කළේ නෑ. හොඳ ගීත රසවිඳින්න කැමති අයට මමත් නිර්මාණ කිහිපයක් කළ බව දැන ගැනීමට සැලැස්සුවා පමණයි.

ප්‍රතිචාර කොහොමද…?
ඇත්තට ම හොඳයි. සමහරු වචන ගැන කිව්වා. සමහරු සංගීත නිර්මාණය ගැන කිව්වා. සමහරු ගායනය ගැන කිව්වා. වික්ටර් රත්නායක යුගයේ අනාගතයක් ගැන දැකපු අයත් හිටියා. ගීත සියල්ල ම එකිනෙකට වෙනස් රසයන් ගෙන දෙන බවත් සමහරු කිව්වා. ප්‍රතිචාර ගැන ගොඩාක් සතුටුයි. අපට හුරුපුරුදු මාධ්‍යවලින් මේ ගීත ඇහෙනවා නම් තවත් සතුටු විය හැකියි.

ඔබේ පරපුර අලුත් නිර්මාණ කරන්නේ නැද්ද….?
පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ පරපුරෙන් පස්සේ සුභාවිත ගීත නැද්ද කියලා සමහරු අහනවා.

නමුත් අපේ පරපුරේ ශිල්පීන් ගැයූ සුභාවිත ගීත තියෙනවා. ශ්‍රී ලාංකේය හෘදය ස්පන්දනයට ගැළපෙන නිර්මාණ කරන්න අපේ පරපුරේ සමහරු නම් බයයි.

මහන්සි වෙලා වියදම් කරලා වැඩක් නැති වෙයි කියලා හිතලා පසුගාමී වන අයත් ඉන්නවා.

කසුන් කල්හාරගෙන් පස්සේ විවිධත්වයකින් යුතු කලාත්මක නිර්මාණයකට පෙලඹුණු කෙනෙක් මම දැකලා නැහැ. නමුත් හැකියාව ඇති අය ඉන්නවා. හොඳ නිර්මාණ කරලත් තියෙනවා. හැබැයි අපට ඇහෙන්නේ නැහැ.

සින්දුවක් කරලා ගෙදර තියාගෙන ඉඳලා වැඩක් තියෙනවා ද…?
බලෙන් මිනිස්සුන්ට ගීත අස්සවන්න බෑනේ. අපි යමක් කළා. ඕනෙ අය රස විඳියි. එපා අය වෙන දේවල් රස විඳියි. රසයක් දැනෙන්නේ නැත්නම් මොන රසක් දුන්නත් වැඩක් නැහැ. සාමාන්‍ය පෙළ විභාගෙ සමත් වෙන්න විතරක් සංගීත කරන්නේ නැතුව ළමයින්ට රසවින්දනය උදෙසා සංගීතය, ගීතය, නර්තනය ප්‍රායෝගික ව ලබා දිය යුතුයි. එවිට ගීතයක් ඇහෙද්දි ඒක ගීතයක් ද වෙළෙඳ නිෂ්පාදනයක් ද කියලා වටහා ගන්න දරුවන්ට හැකි වෙනවා.

ගීතය වෙළඳ නිෂ්පාදනයක් වෙලා ද….?
දැනටමත් ගීතය ලෝකය පුරා අළෙවි වන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වී අවසානයි. හැබැයි ඕනෑ ම නිෂ්පාදනයකට කල් ඉකුත් වීමේ දිනයක් තියෙනවා. නිර්මාණවලට එහෙම වෙන්නේ නෑ.

සුභාවිත ගීතයට මාර්කට් එකක් ඕනේ ද…?
දැන් යන විදිහට නම් ගීතයක් මිනිස්සු අතරට යවන්න මාර්කටින් අවශ්‍යයි. නමුත් කලාකරුවන්ට තමන්ගේ නිර්මාණ මාර්කට් කරන්න බෑ.
ඒක වෙන ම විෂයයක්. ඒවාට වෙන ම පිරිසක් ඉන්නවා. අපි කරන්නේ ගීත නිර්මාණය කිරීම යි. දැන් වෙලා තියෙන්නේ මාකටින් කරපු අය සින්දු කරනවා. එයාලා හම්බ කරගෙන, ගෙවල් හදලා, වාහන අරගෙන කල් ඉකුත් වුණා ම නැතිවෙලා යනවා.
ඉතිහාසය පුරා ම අපි ඒවා දැක්කා. මේ වගේ වෙළෙඳ සමාජයක ඒවට දොස් කියන්නත් බෑ. හොඳ නිර්මාණ ඕනෙ වුණු කාලෙක මිනිස්සුන්ට ඒවා අහන්න අපි නිර්මාණ කරලා තියෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ.

ඔබගේ නිර්මාණ වෙන අය මාර්කට් කරයි ද….?
ඇත්තට ම ඔරිජිනල් එක ජනප්‍රිය වෙන්නේ නෑ. නමුත් ඒකෙ කවර් එකක් කළා ම ජනප්‍රිය වෙනවා.
ඒක තමයි මාකටින් කියන්නේ. දැන් යොහානි ජනප්‍රිය වුණේ සතිෂාන් ගායනා කළ සින්දුවකින්නේ. සතිෂාන් ඒක කිව්වා, චැනල්වල ගියා කාටවත් කිසි ගාණක්වත් තිබුණෙ නෑ. යොහානිගේ ගායන විලාසය, රූපය තමයි ඒ ගීතය ලෝකය පුරා අරගෙන ගියේ.

යොහානි වැරදි ද….?
අනේ නැහැ. එයා එයාගෙ වැඩේ හරියට ම කළා. මේ වගේ කාලෙක යොහානි අපේ රට අරන් ගිය දුර ගැන මං එයාට හදවතින් ම සුබ පතනවා. යොහානි හරි. මං කියන්නේ ඒවාට තියෙන සැලකිල්ල සුභාවිත කලාවටත් තියෙන්න ඕනේ.

ජනප්‍රිය රැල්ලට සුභාවිත මුහුණුවරක් දෙන්න බැරිද….?
ජනප්‍රිය හැමදේම මිනිස්සුන්ට හොඳ නැහැ. ජනප්‍රිය කලාවත්, සුභාවිත කලාවත් දෙක ම තියෙන්න ඕනේ. නමුත් සමබර විය යුතුයි. ජනප්‍රිය කලාව විතරක් අරන් ගිහින් හරියන්නෙ නෑ. සුභාවිත කලාවට තියෙන සැලකීම ඉතා අඩුයි. සංගීතය කියන ගෞරවනීය විෂය ධාරාව ගත්තම ලෝකයට යවන්න පුළුවන් දේවල් අපේ රටේ තියෙනවා.
මගේ පියාත්, සුනිල් පෙරේරාත් කිව්වා වාසනාවක් තියෙන්න ඕනේ කලාවක් ඉස්සරහට යන්න කියලා. මමත් ඒ දේ විශ්වාස කරනවා.

මේ ළිං කටෙන් ගොඩ එන්න බැරි ද…?
කොතන හරි අපට වැරදුණා. ඇත්තට ම අපි වරද්දගෙන ඉවරයි. දැන් ඉතින් අපි තනියම හිතලා වැටුණු තැනින් අපි ම ගොඩ එන්න ඕනේ.

මිලියන විසි දෙක ම හරියට හිතනවා නම් කවුරුවත් කාටවත් දොස් කිය කියා ඉන්නෙ නැතුව තමන්ගෙ ස්වාධීන නැගී සිටීමක් ඇති වුණොත් රටේ රසිකත්වය යළි ගොඩ නැගේවි. රටට, සමාජයට අවශ්‍ය දෙය මොන ආකාරයෙන් හෝ අපිත් කළ යුතුයි. තමන් කරන දේ හදවතින් හරියට ම අවංක ව කළ යුතුයි.

එවිට යහපත් දේ සමාජගත වේවි. ගොඩ යන්න වෙන ක්‍රමයක් නෑ. නරක වැහිලා යනතුරු හොඳ දේ, හරි දේ ම කළ යුතුයි.

තුෂාරී කළුබෝවිල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49