කාදිනල් හිමියන්ගේ චෝදනාවලට ගෝඨාභයගෙන් උත්තර

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් තමන්ට එල්ල කළ චෝදනා කිහිපයකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු ලබා දී තිබෙනවා.

අද (25) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම පිළිතුරු ලබාදීම සිදුකරනු ලැබුවා.

එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් එල්ල කළ චෝදනා හතරක් සඳහා මෙලෙස පිළිතුරු ලබා දී තිබෙනවා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්..

“පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී.

* පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන්
සභාවේ වාර්තාව මට ලැබුණු දිනට පසු දිනම මා කාදිනල්
හිමිපාණන්ට දුරකථනයෙන් කතා කර එම වාර්තාවේ සඳහන්
නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගියහොත් මට සහාය වූ පුද්ගලයන්
අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට පවා
සිදුවෙන බැවින්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව
උන්වහන්සේ වෙත මා දන්වා සිටි බව.
* මම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පළමු වෙළුමේ පිටපතක්
කාදිනල්තුමාට ලබා දීම ප්‍රමාද කළ බවත්, ඉතිරි වෙළුම් එතුමාට
ලබා නොදුන් බව.
* පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ
විවිධ කමිටු සහ කොමිෂන් සභා විසින් කරන ලද නිර්දේශ වලින්
කිහිපයක් පමණක් තෝරා බේරා ක්‍රියාත්මක කිරීමට මා විසින්
අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් යුත් කැබිනට් අනුකමිටුවක් පත්
කළ බව.
* පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ස්ථාන මාරු වීම් ලබා
දී, එම විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා එක් උසස් සීඅයිඩී
නිලධාරියෙකු සිරගත කිරීමට පවා මා කටයුතු කළ බව.

පළමු චෝදනාව සම්බන්ධයෙන් ගත් කල, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබුණු විගස මා කාදිනල්තුමාට දුරකථනයෙන් කතා කොට මට හිතවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමටත් සිදුවෙන නිසා ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අසීරු බව පවසා සිටියේ නැති බව මම තරයේ ප්‍රකාශ කර සිටිමි. මුස්ලිම් ප්‍රජාව මට ඡන්දය නොදුන් බවත්, ජනාධිපතිවරණයේ දී ඔවුන් මගේ අපේක්ෂකත්වයට සහාය නොදැක්වූ බවත්, කවුරුත් දන්නා කරුණකි. ඒ නිසා පාස්කු ඉරිදා ප්‍රහාරයට තිබෙන සම්බන්ධයක් හේතුවෙන් තහනම් කළ යුතු වන මොනම සංවිධානයක්තුලවත් මට හිතවත් පුද්ගලයන් කිසිසේත්ම සිටිය නොහැකිය. කාදිනල්තුමන්ගේ දෙවන චෝදනාව ගත් කල, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත භාර දෙන ලද්දේ 2021 පෙබරවාරි 01 වෙනිදාය. එය මා විසින් අධ්‍යනය කර, නීතිපතිවරයාට ද යොමු කර, 2021 පෙබරවාරි 23 වැනි දින එම වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් කරන ලදී. 2021 මාර්තු 01 වෙනි දින වන විට එහි පිටපත් අතිපූජනීය මහානායක හිමිවරුන්ට, කාදිනල්තුමාට සහ කතෝලික රදගුරුතුමන්ලාට ලබාදීමට අපි කටයුතු කළෙමු. එම නිසා අදාළ වාර්තාව කාදිනල්තුමාට භාරදීමේ ප්‍රමාදයක් සිදු වූ බවට කරන චෝදනාව මම පිළිගන්නේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මා වෙත ලැබීමෙන් පසු එම වාර්තාවේ සහ ඊට කලින්
එළිදක්වන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය අනුව ලයිස්තුගත කිරීමටත්, එම කාර්යයන් අදාළ රජයේ දෙපාර්තමේන්තු හා ආයතන වෙත බෙදාදීමටත් සය පුද්ගල කැබිනට් අනුකමිටුවක් මම පත් කළෙමි. රාජ්‍ය පරිපාලන ක්‍රියා පටිපාටිවලට අනුව, කැබිනට් මණ්ඩලයේ එවැනි උපදෙස් නොමැතිව රජයේ දෙපාර්තමේන්තු හා ආයතනවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකිය. 2019 නොවැම්බර් මාසයේ දී පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසම විසින් එවක සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ස්ථාන මාරුවක් ලබා දෙන ලදී. ඒ කාලයේ පැවතියේ පසුගිය රජය විසින් 19 වැනි සංශෝධනය යටතේ පත් කළ ජාතික පොලිස් කොමිසමය. ඊට සති කිහිපයකට පසු, මෙම පොලිස් නිලධාරියා මහාධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් එවක සිටි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ කළ දුරකථන සංවාද පිළිබඳ විමර්ශනයක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කළේය. ඉන් මාස කිහිපයකට පසු, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහි අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගොතන ලද සාක්‍ෂි ඉදිරිපත් කිරීම පිළිබඳව මතු වූ චෝදනාවක් ගැන විමර්ශනයක් හේතුවෙන් අධිකරණය විසින් එම නිලධාරියාව රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. එම නිසා, පාස්කු ඉරිදා විමර්ශනය කඩාකප්පල් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් දී, රිමාන්ඩ් භාරයට පවා පත් කළ බවට කාදිනල්තුමා මට එල්ල කළ චෝදනාව මම ප්‍රතික්ෂේප කරමි. අදාළ සීඅයිඩී අධ්‍යක්ෂවරයා 2017 වසරේ එම ධුරයට පත් කර තිබුණු අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවත් මාස හතකට අධික කාලයක් ඔහු එම තනතුරේ දිගටම කටයුතු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර මාස කිහිපය තුල දී එම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින්ම සිදු කරන ලද වව්නතිව් ඝාතන, මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේ එම අධ්‍යක්ෂකවරයා යටතේ පැවති සීඅයිඩී යයි. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මීට වඩා විමසිලිමත් වූයේ නම් සහරාන් ඇතුළු පිරිස පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගෙන එම ප්‍රහාරය වැළැක්වීමට හැකිව තිබූ බව ජනාධිපති කොමිසම ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම අදාළ අධ්‍යක්ෂකවරයා යටතේ පැවති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අසමත් වීමකි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට මා අපොහොසත් වූ බව කාදිනල්තුමා ඉහත සඳහන් කතාවේ දී මට චෝදනා කර සිටියේය. කෙසේ වෙතත් අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදු කරන්නේ දේශපාලනඥයින් නොව පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය එක්ව ක්‍රියා කිරීමෙනි. එම ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින අතර මාධ්‍යවලට අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 93 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නීතිමය කටයුතු ආරම්භ වී ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදු කරන ලද්දකි. එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් පිළිබඳව එවක රජයේ ඉහළම විමර්ශන ඒකකය වූ සීඅයිඩීය 2019 පාස්කු ඉරිදාට පෙර මාස ගණනාවක් මුළුල්ලේ විමර්ශනය කරමින් සිටි නමුත් ප්‍රහාරයට පෙර අදාළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් විය. මෙකී පාර්ශ්වයන් දෙකේම වගකීම එක්කෝ නොසලකා හැරීමට නැතිනම් ඔවුන්ව ප්‍රකාශිතවම වගකීමෙන් නිදහස් කිරීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතරතුරම, පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් මට එරෙහිව නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන ආකාරය මහජනතාව හොඳින් නිරීක්‍ෂණය කළ යුතුය.”

ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51