ක්‍රීඩා විශ්වවිද්‍යාලය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර

ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය වැඩි දියුණු කරමින් එම ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවත්, පාසල් සහ ප්‍රාදේශීය මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට මෙතෙක් නැගුණ චෝදනාව අවසන් කරමින් ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීමට රජය පියවර ගෙන තිබෙන බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නව ජාතික ක්‍රීඩා සභාව අත්දැකීම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මෙන්ම පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර මෙරට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීමට එය ඉවහල් වනු ඇති බවයි.

මේ අතර “ජාතික යෞවන ක්‍රීඩා උළෙල” සහ “තුරුණු ශක්ති වැඩසටහන” නැවත පැවැත්වීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා,

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙරට තරුණ තරුණියන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කරමින් ඔවුන් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ තරුණ පරපුර කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබා ඇති නායකයෙක්. එතුමා 1979 ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරමින් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් ඉටු කළ කාර්ය භාරය ද මෙහිදී සිහිපත් කළ යුතුයි.

ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංකය අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන දෙකක් වෙනවා. ජාතික තරුණ සේවා සභාව යටතේ මේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තරුණ සේවා නිලධාරියෙකු පත් කර තරුණ තරුණියන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

යොවුන් සේනාංකය තුළින් මේ රටේ වයස අවුරුදු 18 – 29 අතර පාසල් හැර ගිය තරුණ තරුණියන්ගේ නිපුණතා සංවර්ධනය කරමින් හැකියාවන්ගෙන් පරිපූර්ණ තරුණ පරපුරක් ගොඩනැඟීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා. කොරියන් භාෂාව, ජපන් භාෂාව ඇතුළු විවිධ භාෂා දැනුම ද ඔවුන්ට ලබා දීම සිදු කරනවා. හෝටල් ක්ෂේත්‍රයේ පුහුණු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මකයි.

එසේම ක්‍රිඩා ක්ෂේත්‍රය තුළ මධ්‍යම රජය සහ පළාත් සභා අතර කටයුතු වඩාත් සුහදව කළමනාකරණය කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය නිරතුරුවම කැපවී සිටිනවා.

එසේම ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රිඩිකාවන් තෝරා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් විවිධ ප්‍රශ්න පැණනැගුන අවස්ථාවන් පසුගිය කාලයේ දක්නට ලැබුණා. එම නිසා ජාතික ක්‍රීඩා සභාව පත් කිරීමට ගත් පියවර ඉතා වැදගත් එකක් බව කිව යුතුයි.

මෙරට ක්‍රීඩාව පිළිබඳව අවබෝධයක් ඇති ක්‍රීඩාවේ නිරත වූ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන අර්ජුන රණතුංග, සුසන්තිකා ජයසිංහ වැනි ප්‍රවිණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාතික ක්‍රීඩා සභාව සමන්විත වෙනවා. ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමේ දී නිසි පරිසාධන මට්ටම් ඔස්සේ අදාළ තෝරා ගැනීම් සිදු කිරීමට එමගින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා මෙම කටයුතුවලදී දේශපාලන මැදිහත්වීමක් සිදුවන බවට අද කිසිවෙකුට චෝදනා කරන්න බැහැ.

මත්ද්‍රව්‍ය භාවිතය අද ජාත්‍යන්තර තරගවලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එල්ලවන ප්‍රධාන චෝදනාවක් වී තිබෙනවා. එම නිසා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රීඩා අමාත්‍යාංශය තුළ පුළුල්ව ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ රටේ ඇති ක්‍රීඩා සම්මේලන 72න් 66ක්ම වඩාත් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක කර තිබෙනවා. මේ රටේ ක්‍රියාත්මක සෑම ක්‍රීඩා සම්මේලනයකටම විරුද්ධ තවත් කණ්ඩායමක් බලය ලබා ගැනීම සඳහා උත්සාහයන්හි නිරතවීම නිරතුරුව දකින්නට ලැබෙන දෙයක්. පාපන්දු සම්මේලනය, දැල්පන්දු සම්මේලය මෙන්ම හොකී සම්මේලනය තුළද මෙම තත්ත්වය දකින්න ලැබෙනවා.

විශේෂයෙන් ලිපිලේඛනවලට පමණක් සීමා වූ සම්මේලන පවත්වාගෙන යාම සිදුවන අතර එක් පිරිසක් සැමදා පාලන බලය ලබා ගැනීමට පුරුදු වී සිටිනවා. ක්‍රීඩා කළ හැකි කණ්ඩායමටවලට අවස්ථාව ලබාදී මේ රටේ ක්‍රීඩාව නැංවීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස මම එවැනි කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

මේ අතර ක්‍රීඩා පනත සංශෝධනය පිළිබඳවත් මේ වන විට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24