කප්පාදු කළ වැටුප දෙන්නැයි කියා විශ්‍රාමික ගුරු – විදුහල්පතිවරු පාරට බසිති

විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ට හිමි වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුරයේ දී උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු ඉන්දික රංගජීව සඳහන් කළේ අද දහවල් අනුරාධපුර නගර මංසන්ධියේ දී මෙය පැවැත්වුණු බවයි.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුව හා විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධාන එකමුතුව විසින්.

1997 වර්ෂයේ දී අහිමි කළ අංක 3/2016 (iv) හා 2022 – 01-05 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් නොසලකා හැර ඇති විශ්‍රාමික ගුරු – විදුහල්පති වැටුප යළිත් ලබාදෙන ලෙස පවසමිනුයි මෙම විශ්‍රාමිකයින් විරෝධතාව පැවැත්වූයේ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ දැනට ලැබෙන විශ්‍රාම වැටුපෙන් විශ්‍රාමිකයින්ට ජීවත්වීමට නොහැකි බැවින් මෙවර අය-වැයේ දී සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ විශ්‍රාමිකයින්ට රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ හා විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ. සුමතිපාල වත්මන් ආණ්ඩුවට බල කර සිටිනවා.