කඳුලු ගෑස් ගැන කෝපා කමිටුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්

නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මාසයක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී තිබෙනවා.

2019, 2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලිසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා කමිටුවට) කැඳවූ අවස්ථාවේදී යි කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ‍

මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට කැඳවා තිබුණා.

පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර 2016 වසරේදී කෝපා කමිටුව හමුවට කැදවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශයක් ලබා දී තිබුණ ද තවමත් එය ක්‍රියාත්මක නොවීම පිළිබද මෙහිදී ප්‍රශ්න කර තිබෙනවා. පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය සඳහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හදුන්වා දීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව පැමිණිල්ලක් ලබා දීමේ සිට අධිකරණ කටයුතුවල තත්ත්වය දක්වා විස්තර ලබා ගත හැකි නව නියමු ව්‍යාපෘතියක් මේ වන විට හැටන් සහ නුවරඑළිය පොලිස් ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක බව පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

මෙහිදී කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කර අදාළ තොරතුරු ක්ෂණිකව ලබා ගත හැකි තොරතුරු තාක්ෂණ පද්ධතියක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල සහ යෝජිත සැලැස්ම පිළිබද වාර්තාවක් මාසයක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙසටයි උපදෙස් දුන්නේ.

ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා පොලිස් නිලධාරීන්ගේ හිඟය ඇතුළු ගැටලු පිළිබදව ද මෙහිදී අවධානය යොමු වුණා.

කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියන් 2419ක පුරප්පාඩු පවතින බවත් මෙම වසරේ මෙම ප්‍රමාණය සම්පූර්ණ කිරීමට යෝජිතව තිබුණ ද වත්මන් ආර්ථික තත්ත්වය මත එය සිදුකිරීමට නොහැකි වූ බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙහිදී පොලිස්පතිවරයා පවසා සිටියේ පොලිසිය තුළ තිබූ පැරණි තත්ත්වය වෙනස් කර අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සඳහා අවස්ථාව ලබා දීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි. ඒ අනුව අනාගත කාන්තා පොලිස්පතිවරියක් බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

එසේම පොලිසිය සතු කල් ඉකුත් වූ කදුලු වායු (tear gas) පිළිබදව මෙහිදී අවධානය යොමු වුණා. කල් ඉකුත් වූ කඳුලු වායු අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත් කිසිවිටකත් ඒවා භාවිතා නොකරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුම් දෙනු ලැබුවා. මේ අනුව ලංකාවේ සියලු පොලිස් ස්ථානවල පවතින කල් ඉකුත්වූ කදුලු ගෑස් අපහරණයට කටයුතු කරන ලෙසටයි කමිටුව උපදෙස් දුන්නේ.

එසේම ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙම කදුලු ගෑස් ඇතුළු මහජන කැරලි කෝලහල පාලනයේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද වාර්තාවක් සකස් කර කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා දැනුම් දී තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදි විශේෂ අවධානය යොමු කෙරුණා. දමිළ සහ ඉංග්‍රීසි භාෂා කුසලතාව පොලිස් නිලධාරීන්ට ලබා දීමේ වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කර ඇති බව ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පෙන්වා දුන් අතර එම කටයුතු වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරනු ලැබුවා.

පොලිසියේ උසස්වීම්වලට අදාළ ගැටලු, පොලිස් ත්‍යාග අරමුදල කළමනාකරණය, මාර්ග අනතුරු පාලනය, අපරාධ පාලනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගැටලු සහ ඒවාට විසදුම් පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14