කන්දකාඩු රැඳවියෙකු පැන යයි

පොළොන්නරුව – වැලිකන්ද කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙකු එම පුහුණු මධ්‍යස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

ඊයේ (15) දහවල් මෙම සිදුවීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පලා ගොස් ඇත්තේ පොළොන්නරුව – කළුකැලේ – බඳනාගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක් වයසැති තරුණයෙක්.

කන්දකාඩු පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථාන තුළ රැඳවියන් 94 දෙනෙකු පුනරුත්ථාපනය වන අතර මේ වනවිට රැඳවියන් 93 දෙනෙකු එහි සිටින බව ද කන්දකාඩු පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසුවා.

පලාගිය රැඳවියා 2024 අගෝස්තු 11 වෙනිදා මාස හයක දඬුවම් කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පුනරුත්ථාපනය වීම සඳහා සිරිපුර පොලිස් වසමේ සිට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව මගින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ද වැලිකන්ද පොලිසියේ නිලධාරියකු සඳහන් කළා.

මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කන්දකාඩු යුද හමුදා කඳවුරේ යුද හමුදා නිලධාරීන් පිරිසක් සහ වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිසිය සිදු කරනවා.