එතෙර රැකියා පෙන්වා මුදල් ගැරූ කත ඒජන්සියේ දී ම කොටුවෙයි

විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගැනුණා.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන විදේශ රැකියා නියෝජිත ආයතනයක් තුළ දී ය.

විදේශ රැකියා ලබාදෙන බව පවසා සැකකාරියට මුදල් ලබා දී වංචාවට හසු වූ 14 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණා.

එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුවයි සැකකාරිය ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය පවත්වා ගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්‍රය ද තාවකාලික ව අත්හිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

සැකකාරිය හෙට (04) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.