එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විදෙස් අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතව තිබෙනවා.
ඒ අනුව, නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ශිසීර් ඛානල් හමුවූ අමාත්‍ය විජිත හේරත්, දෙරට අතර හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම, වඩාත් සමීප සහයෝගීතාවක් ඇති කර ගැනීම සහ පොදු දේශගුණික අභියෝගවලට මුහුණදීම සඳහා ඒකාබද්ධ ප්රයත්නයන් පිළිබඳව සාකච්ඡා කළ අතර, මෑතකදී නේපාලයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් අනතුරුව එරට රජය සහ ජනතාව වෙත සිය සහයෝගීතාව හා යථා තත්ත්වයට පත්වීමේ කටයුතු සඳහා සුබ පැතුම් පළකර සිටියා.
ඉන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම, ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා ප්‍රයත්නවල ප්‍රගතිය පිළිබඳව ඔහු දැනුවත් කළ අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ද එහිදී සාකච්ඡා කළා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම් ජීන්-පියරේ ලැක්‍රොයික්ස් සහ මෙහෙයුම් සහාය පිළිබඳ උප මහලේකම් අතුල් කාරේ හමුවූ අමාත්‍යවරයා, ගෝලීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර සාම සාධක ප්රයත්නයන් සඳහා ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ කැපවීම යළි අවධාරණය කර සිටියා.
ජාතික මානව හිමිකම් පරීක්ෂණ යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ උප මහලේකම්වරයාව දැනුවත් කළා.
මීට අමතරව, ඉරාන ඉස්ලාමීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි හමුවූ අමාත්‍ය විජිත හේරත් වත්මන් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින්, කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීමත්, සංවාදය සහ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ගැටලු සාමකාමීව විසඳා ගැනීමත් සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය යළි අවධාරණය කර සිටියා.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් හමුවූ අමාත්‍යවරයා, වෙළෙඳාම, ආයෝජන, සංචාරක, ශ්‍රම සහයෝගීතාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ සුබසාධනය ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන අවස්ථා පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පවත්වනු ලැබුවා.













