ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇවිලෙයි

ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇවිලී යාමෙන් වාර්ගික ප්‍රජාවන් දෙකක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

එම ගැටුමෙන් සිවිල් වැසියෙක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙන බව “ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා” ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා.

ඉන්දියා – මියන්මාර දේශසීමාවේ පිහිටි ජිරිබාම් දිස්ත්‍රික්කයේ ගැටුම් සහ වෙඩි හුවමාරුවීම් රැසක් සිදුව තිබුණා.

ජිරිබාම් හි නියෝජ්‍ය කොමසාරිස් ක්‍රිෂ්ණ කුමාර් පැවසුවේ අද (07) උදෑසන සිට ප්‍රජාවන් දෙකක සන්නද්ධ කණ්ඩායම් අතර සටන් සිදුවෙමින් පැවති බවයි.

ආර්ථික ප්‍රතිලාභ, රජයේ රැකියා සහ අධ්‍යාපන කෝටාවන් සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් තිස්සේ මනිපූර් ප්‍රාන්තය වරින් වර ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.