spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියානු රුපියල එන්නේ ලංකා රුපියල වෙනුවට නෙමෙයි – ලංකාවේ ඉන්දියානු රුපියල පිළිගැනීම ගැන ඇත්ත කතාව

ඉන්දියානු රුපියල (INR) යළිත් ශ්‍රී ලංකාවේ මාතෘකාවක් බවට පත්ව තිබේ. ඊට හේතුව ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් බවට පත්කිරීම පිළිබඳව සළකා බලමින් සිටින බව විදේශ ඇමැති අලි සබ්රි කරන ලද ප්‍රකාශයකි. ඇමතිවරයා මෙම කරුණ පවසා තිබුණේ ඉන්දියාවේ WION පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“අපට අවශ්‍ය වන්නේ ඉන්දියානු මුදල් ශ්‍රී ලංකාව තුළ වෙළඳාම් කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීමයි. එසේම ඉන්දියානුවන්ට මෙහි පැමිණ එය භාවිත කිරීමේ හැකියාව ලබාදීමයි. එමගින් ශ්‍රී ලාංකිකයින්ට තුන්වන මුදල් වර්ග මත යැපීමෙන් තොරව එය භාවිතා කිරීමට ඉඩ සැලසෙනවා,” ඇමතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළේය.

මෙලෙස ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වන්නේ පළමු අවස්ථාවට නොවේ. එසේම දෙරට අතර ඉන්දීය මුදල් ඒකකය භාවිත සම්බන්ධයෙන් මේ වන විටත් යම් මුලික මට්ටමේ පදනමක් සකස්කර අවසන් කර ඇති බව පසුගිය වකවානුවේ වාර්තා විය. එහෙත් ශ්‍රී ලංකා රජයේ වගකිවයුතු ඇමතිවරයෙක් විසින් ඉන්දියානු රුපියල පිළිබඳව නිල වශයෙන් සාකච්ඡා කරන ලද පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මෙහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ, 2022 අගෝස්තු මාසයේ දී ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගත් මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබීමයි. මහ බැංකුව එහිදි විශේෂ අවසරයක් නිකුත් කරමින්, ඉන්දීය රුපියලට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය, පවුම් ස්ටර්ලින්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාත්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස ප්‍රකාශ කළේය.

අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ඉල්ලා සිටි අතර, 2022 දෙසැම්බර් මාසයේ දී ඉන්දීය මහ බැංකුව එම අනුමැතිය ලබාදුන්නේය. ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති ආකාරයට, එම අනුමැතියත් සමග ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් (ඉන්දියානු රුපියල් ලක්ෂ 8කට වැඩි) වටිනා ඉන්දියානු රුපියල්(INR) භෞතික ස්වරූපයෙන් (එවකට පැවැති විනිමය අනුපාතිකයන්ට අනුව) සිය සන්තකයේ තබාගැනීමේ හැකියාව ද පවතී.

ඉන්දීය සංචිත බැංකුව විසින් මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබාදී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල් ඉදිරියේදී ඉන්දියාව සමග සිදුකරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවය.

“ඉන්දියාවේ අපනයනය කෙරෙහි අවධානය යොමුකරමින්, ගෝලීය වෙළඳාම වර්ධනය, ප්‍රවර්ධනය කිරීම සහ ඉන්දීය රුපියල කෙරෙහි ගෝලීය වෙළඳ ප්‍රජාවේ වැඩිවන උනන්දුව වෙනුවෙන් මෙම යාන්ත්‍රනය සකස් කර තිබේ. ඇතැම් රටවල් සමඟ වෙළඳාම සඳහා එක්සත් ජනපද ඩොලරය වැනි ගෝලීය මුදල් භාවිත කිරීම වළක්වන නීතිරීති හේතුවෙන් ගැටලු උද්ගතව ඇති අතර, එවැනි ගැටලු වළක්වා ගැනීම සඳහා ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට පහසුකම් සැලසීමට මෙම යාන්ත්‍රණය ඔස්සේ අපේක්ෂා කෙරේ,” යැයි ඉන්දීය සංචිත බැංකුව දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කර තිබිණි.

මෙහි ඇති වඩාත්ම විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉන්දියානු රුපියල් වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකිවීමයි. මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ බැංකුවක ‘වොස්ට්‍රෝ’ (INR vostro) නම් ගිණුම් විශේෂයක් විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය. එලෙස නිල වශයෙන් ඉන්දියානු රුපියල භාවිත කරමින් මේ වන විටත් ගනුදෙනු ආරම්භ කර තිබේ. එහි පසුබිම විමසා බලන විට, 2022 දෙසැම්බර් දෙවන සතියේදී ලංකා බැංකුව (BOC) එහි චෙන්නායි ශාඛාව සමග ඉන්දියානු රුපියල ඔස්සේ ගනුදෙනු කළහැකි පළමු වොස්ට්‍රෝ ගිණුම (vostro account) විවෘත කරනු ලැබීය. ඒ, ඉන්දියානු රාජ්‍ය බැංකුව (State Bank of India/SBI) සමග හවුල්කාරිත්වයක් ඇතිකර ගනිමිනි. කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින්ද මෙම අවස්ථාව නිල වශයෙන් නිවේදනය කර තිබුණු අතර, මහ කොමසාරිස් ගොපල් භාග්ලේද අදාළ ගිණුම් විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ බව මහ කොමසාරිස් කාර්යාලයේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ වොස්ට්‍රෝ ගිණුම් තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉන්දියානු රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගෝයල් සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇත. මෙම නව මුලපිරීමත් සමග, ශ්‍රී ලාංකිකයන්ට 2022 දෙසැම්බරයේ සිට සෘජුවම ඉන්දියානු රුපියල්වලින් වෙළෙඳ ගනුදෙනු සිදු කිරීමට හැකි වී ඇති අතර එමගින් එක්සත් ජනපද ඩොලර් භාවිත කරමින් සිදුකෙරෙන ගනුදෙනු වලදී මතුවන ගැටලු මගහරවාගැනීමේ හැකියාව ලබාදී ඇත.

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිතය සම්බන්ධයෙන් සළකා බලන විට, එය දැන් සිදුවීමට යන්නේ පළමු අවස්ථාට නොවන බව පෙනේ. ලොව රටවල මූල්‍ය මණ්ඩල පවතින වකවානුවේ, එනම් 1950 දශකයට පෙර ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග කලාපයේ මෙන්ම අප්‍රිකාවේ ඇතැම් රටවලද ඉන්දියානු රුපියල විශාල වශයෙන් භාවිතයට ගෙන තිබේ. එහෙත් 50 දශකයේදී මහ බැංකු සංස්කෘතිය ලොව බහුතර රටවලට හඳුන්වා දීමත් සමග ඉන්දීය රුපියල ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්ව ගොස් තිබේ. එහෙත් නැවත වතාවක් ඉන්දියාව සිය මුදල් ඒකකය ලොව වෙනත් රටවල් සමග සිදුකෙරෙන සෘජු ගනුදෙනු වෙනුවෙන් භාවිත කිරීම ආරම්භ කර ඇත. ඒ යුක්රේන යුද්ධයත් සමග ලොව උද්ගතව ඇති නවතම තත්වයන් සලකා බලමිනි. රුසියාවට මේ වන විට ඩොලරයෙන් ගනුදෙනු කිරීමේ තහනමක් පැනවීමට බටහිර රටවල් කටයුතු කර ඇති පසුබිමක, ඉන්දියාව සිය රටට අවශ්‍ය ඉන්ධන සහ වෙනත් ආනයන වෙනුවෙන් රුසියාව සමග ඉන්දියානු රුපියල් භාවිත කරමින් ගනුදෙනු කිරීම ආරම්භ කර තිබේ.

මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව සමගද ක්‍රියාත්මක කිරීම යෝජිත නව වැඩසටහනේ අරමුණ වී තිබේ. එමගි ශ්‍රී ලංකාවට ලබාගත හැකි වාසිදායක තත්වයන් කිහිපයක්ම පවතින බව දැකගත හැකිය. ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන පහත් හයත් අතර වටිනාකමකින් යුතු භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබයි. ඉන්දියානු රුපියල සෘජුව භාවිතයට ගැනීම ඔස්සේ, මෙලෙස ඉන්දියාවට ආනයනයන් වෙනුවෙන් ගෙවීමට සිදුවන දැවැන්ත ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ. අනෙක් අතට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක මුලාශ්‍රයක් වන්නේ ඉන්දියාවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ අපනයනයන්ට අවශ්‍ය ඉන්දියානු රුපියල්, කිසිදු ගැටලුවකින් තොරව ඉන්දියානු සංචාරකයන් හරහා ලබාගත හැකිය. එසේම මින් ඉදිරියට ඉන්දියාවේ සිදුකෙරෙන කිසිදු සංචාරයකදී ශ්‍රී ලාංකිකයකුට ඩොලර් රැගෙන ගොස් ඉන්දියානු රුපියල් බවට පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවක් පැනනොනගී. එහිදී සෘජුවම ශ්‍රී ලංකා රුපියල් ඉන්දියානු රුපියල් බවට පත්කරගත හැකිය. අනෙක් අතට දෙරටේ මුදල් ඒකක, වෙළඳ ගනුදෙනුවලදී ඩොලරය වෙත පරිවර්තනය කිරීමේදී දැරීමට සිදුවන අතරමැදි ගාස්තුවද මෙමගින් ඉතිරිකර ගැනීමේ හැකියාව ලැබේ. ඒ අනුව ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ සෘජු භාවිතයට ගැනීම, රට මුහුණදී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ විශාල සහනයක් ලබාදෙන පියවරක් ලෙස හඳුනාගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?