spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ මහ මැතිවරණයකින් – ජනපති

ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත්, වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද (03) පැවති ගුවන් හමුදා ශිෂ්‍යභට නිලධාරින් ඇතුළු නිලධාරීන් විසිරයාමේ උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.

මේ අතර රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම රටට ලැබීමට නියමිත බව සඳහන් කළ ජනාධිපතිවරයා ආර්ථික බිඳවැටීමෙන් ද රටවල් අරාජික වන බවත්, එබැවින් රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද එකලෙස ආරක්ෂා කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“පාසල් අධ්‍යාපනයෙන් පසුව ගුවන් හමුදාවට එක් වී, පුහුණුවීම් සාර්ථකව අවසන් කර, අද දින අධිකාරි ලත් ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම මම සුබ පතනවා. දුෂ්කර පුහුණුවකින් පසුව අද ඔබ මෙලෙස අධිකාරියට පත්වීම, ඔබට මෙන්ම ඔබේ දෙමාපියන්ට ද මහත් සතුටක් බව මම දන්නවා. ඇතැම් විට ඔබේ ගම් පළාතෙන්ම ගුවන් හමුදා නිලධාරියකු බවට පත්වන පළමු පුද්ගලයා ඔබ විය හැකියි. ඔබ අද දරන්නේ විශාල වගකීමක්. එම නිසා ඔබගේ මෙන්ම ඔබේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමටත් වග බලාගත යුතුයි. එම වෘත්තියට අගෞරවයක්, කැලලක් වන කිසිවක් නොකිරීමට ද වග බලා ගත යුතුයි. සෑම විටම තමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයෙක් බව සිහිතබාගෙන අභිමානයෙන් යුතුව කටයුතු කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ අද අධිකාරිය ලබන විට ව්‍යවස්ථාව සුරකින බවට දිවුරුම් දුන්නා. ඒ වගේම ගුවන් හමුදාවේ දිවුරුමත් ලබා දුන්නා. මේ ප්‍රකාශ දෙකෙහිම තිබෙන්නේ ඔබේ මූලික යුතුකම සහ වගකීමයි.
ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමත්, රට ආරක්ෂා කිරීමත් ඔබගේ වගකීම වනවා. මොකද රටක් නොමැතිව ව්‍යවස්ථාවක් නැහැ. රටක් නැති නම් ව්‍යවස්ථාව කියන්නේ නිකම් කොළ කැබැල්ලක් පමණයි. ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන්නේ රටක් තිබෙන නිසා. ඔබ ලබාදුන් දිවුරුමට අනුවත් මේ රටේ ව්‍යවස්ථාවටත්, නීතියටත් අනුකූලව ක්‍රියා කරන්නටත් ජන රජයට පක්ෂපාතී වන්නටත් ප්‍රතිඥා දී තිබෙනවා.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තියේ සඳහන් කර තිබෙන්නේ “මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය” කියලයි. එසේ නම් ව්‍යවස්ථාව තිබෙන්නේ ජනරජය සඳහායි. රටේ ඒකීය භාවය ගැනත් එහි සඳහන් වෙනවා. ඒ වගේම එම පරිච්ඡේදයේ සඳහන් වනවා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ආයතන, ජාතික කොඩිය සහ අපේ ජාතික ගීය පිළිබඳවත්. අනෙක් සියලු පරිච්ඡේද තිබෙන්නේ මේවා ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාමටයි. එසේ නම් අපි මේ අනුව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. එහිදී පළමුව රට ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා අප ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයක් විය යුතුයි.ස්වෛරි, ස්වාධීන නිදහස් රාජ්‍යයකට තර්ජනයක් වන කිසිඳු දෙයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. එය අපේ ප්‍රධාන යුතුකමයි. එහිදී රටේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ඒකීයභාවය ආරක්ෂා කිරීමට නම් මේ රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ යුතුයි. රටේ භෞමික අඛණ්ඩතාවය 1983 – 2009 දක්වා තර්ජනයට ලක්වී තිබුණා. එම අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ජීවිත පරිත්‍යාගයෙන් එය ආරක්ෂා කළා. ඒකීයභාවය ආරක්ෂා කරන්න නම් රටේ ජනතාවගේ එක්සත්භාවයත් අප ආරක්ෂා කළ යුතුයි. රටක් ලෙස අපට තනිව නැගී සිටිමට නම් මේ රටේ සිටින සිංහල, දෙමළ ,මුස්ලිම්, බර්ගර් වගේම සියලු ආගමිකයින් ද ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කළ යුතුයි. අප සියලු දෙනාගේම සංස්කෘතිය, ආගම ආරක්ෂා කරගත යුතුයි. එසේ නොමැතිව රට බෙදුනොත් එය රටේ ඒකීයභාවයට විශාල තර්ජනයක් විය හැකියි. ඒ වගේම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතනවලින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලභාවය සකස් වී තිබෙනවා. ව්‍යවස්ථාදායකය මගින් සම්මත කරන නීති ක්‍රියාත්මක කිරීමට අධිකරණය කටයුතු කරනවා. මේ සියලුම ආයතන මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අදාළ කටයුතු සිදු කෙරෙනවා. එම නිසා මෙම ආයතන ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීමක්.
ආණ්ඩුවක් තෝරා ගන්නේ හෝ වෙනස් කරන්නේ, ජනතාව තෝරාගත් පාර්ලිමේන්තුවක් විසින් පමණයි. පාර්ලිමේන්තු මැතිවරණයක් නොමැතිව ආණ්ඩු මාරුවක් සිදු කළ නොහැකියි. මහ පාර කියන්නේ පාර්ලිමේන්තුවට විකල්පයක් නොවේ.
පසුගිය ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියටත් මම ස්තූතිවන්ත වෙනවා . පාර්ලිමේන්තුවක් නැති රටවල් අරාජික විය හැකියි. මොකද පාර්ලිමේන්තුවක් නොමැති නම් නීති සම්මත කිරීමේ බලය අහිමි වන නිසා.
ඒ වගේම ආර්ථිකය බිඳ වැටුණු රටවල් ද අරාජික වෙනවා. එම නිසා රටක ව්‍යවස්ථාව මෙන්ම ආර්ථිකය ද ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා කටයුතු කළ යුතුයි. පසුගිය දින කිහිපය තුළම මේ රටේ ආර්ථිකයට සුබදායක ආරංචි ගෙන ඒමට විදේශ රටවල නියෝජිතයින් මෙන්ම සංවිධාන කිහිපයක් සමඟ අප සාකච්ඡා කළා. එහි ප්‍රතිඵල ලඟදීම රටටත්, ඔබටත් ලැබේවි. ආර්ථිකය නැති වුණොත් අපට රටක් නැති වෙනවා. රටේ ව්‍යවස්ථාවෙන් ඇති කළ මූලික ආයතනත් ආර්ථිකය යන දෙකම ආරක්ෂා කළ යුතුයි. ඔබේ වගකීම මෙයයි. මේ සියල්ල ආරක්ෂා කළ විට ඔබට රටක් තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළ යුතුව තිබෙනවා. ව්‍යවස්ථාව සහ රට එකට එකතුවෙලයි ඉදිරියට යන්නේ. එය බෙදිය නොහැකියි. අද මෙම වගකීම භාරගන්න ඔබ සියලු දෙනාට මම සුබපතනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?