ආගමකින් අපේක්ෂා කරන්නේ යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි – හජ් උත්සවයට ජනපතිගෙන් සුබපැතුම්

ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන, අදට යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදුකිරීමේ දී සියලුදෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත් බව සඳහන් කරන ජනාධිපතිවරයා, හජ් සැමරුම එකී පොදු අරමුණ වෙනුවෙන් එක් ව අත්වැල් බැඳගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණය කරන බවයි පවසන්නේ.

ජනාධිපතිවරයාගේ සුබපැතුම් පණිවිඩය,

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.
ආගමකින් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීමයි. ලොව නන් දෙසින් මක්කම නගරය වෙත පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මෙම හජ් වන්දනාවෙන් ගම්‍ය වන්නේ අන් සියලු ආගමිකයන් සමඟද සමානාත්මතාවෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණය බව මම දැඩි ව විශ්වාස කරමි. එසේම, ඉන් නිරූපිත කැපවීමේ හා පරිත්‍යාගයේ ජීවන ආදර්ශයෙන් හජ් සැමරුමෙහි මුඛ්‍යාර්ථ සංකේතවත් කෙරේ.
ඇති නැති පරතරය සහ විවිධ භේද දුර ලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණකි. රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේදී සියලුදෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත් වේ. හජ් සැමරුම එකී පොදු අරමුණ වෙනුවෙන් එක් ව අත්වැල් බැඳ ගැනීමට අගනා අවස්ථාවක් නිර්මාණය කරන බවද මෙහි ලා සිහිපත් කරමි.
ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සිත්සතන්හි සමානාත්මතාව, සහෝදරත්වය සහ පරිත්‍යාගය පිළිබඳ හැඟීම් උත්පාද කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ලබා දෙන්නේද මහැඟි පණිවිඩයකි.
එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක් ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට අප රජය දරන උත්සාහයේදී සිය ශුද්ධ වූ විශ්වාසය සමඟින් සියලු ඉස්ලාම් බැතිමතුන් එක් ව සමරන හජ් සැමරුම, මහඟු ආශිර්වාදයකි. මෙරට හා ලෝක වාසී සියලු ඉස්ලාම් බැතිමතුන්ට, උතුම් ඊද් – උල්- අල්හා දිනයක් වේවා‘යි හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.
ඊද් මුබාරක් …!!!

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 ජූනි 07 දින



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01