spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අස්ගිරි අනු නාහිමියන්ගෙන් ප්‍රතිත්‍රස්ත පනත ගැන ප්‍රකාශයක්

ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ හිමිවන නිදහස අනිසි ලෙස බුක්ති විඳිමින් කටයුතු කරන්නට යෑමෙන් විවිධ අවුල් නිර්මාණය වී රජය මෙන්ම ජනතාවද අසීරුතාවට පත්වන බැවින් එවැනි අවස්ථාවල ඒවා පාලනය කිරීම සඳහා යම් යම් නීතී අණපනත් ගෙන එමින් කටයුතු කිරීමට ඇතැම් අවස්ථාවන්හි රජයකට සිදුවන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් පවසනවා.

නිදහස පමණට වඩා අනිසි අයුරින් බුක්ති විඳින්නට ගිය විටද රටේ අවුල් ඇති වී රජය සහ ජනතාව අපහසුතාවට පත්විය හැකි බව තේරුම් ගත යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම, මහාචාර්ය ජී.එල් පීරිස්, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, හිටපු නාගරික මන්ත්‍රී ආනන්ද සනත් කුමාර ඇතුළු පිරිසක් අද අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේ අනුනාහිමියන් මේ බව ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රති ත්‍රස්ත පනත මගින් ඇතිවිය හැකි අවදානම සම්බන්ධව මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා මෙම පිරිස එම විහාරස්ථානවලට පැමිණි තිබෙනවා.

මල්වතු පාර්ශවයේ මහානායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදැක කරුණු දැක්වීමෙන් පසු ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී, ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොඩගම මංගල යන නාහිමිවරු ද එක්ව සිටියා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අස්ගිරි අනුනාහිමියන් ප්‍රකාශ කළේ මෙම ප්‍රති ත්‍රස්ත පනත මගින් රටට අහිතකර තත්ත්වයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව තුළත් ඉන් පරිභාහිරවත් කරුණු දක්වමින් ජනතාව දැනුවත් කිරීම මහජන නියෝජිතයින් ගේ වගකීම බවයි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා විය යුතු බවට තර්කයක් නොමැති අතර නිදහස පමණට වඩා භුක්ති විඳින්නට යාමෙන් ගැටලු ඇති වන්නේ නම් එහි ප්‍රශ්නයක් ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය අනිසි ලෙස භාවිත කරමින් රාජ්‍ය විරෝධයක් ගොඩ නැගීමට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් ඒවාට ඉඩ දී බලා සිටීමේ හැකියාවක් රජයකට නොමැති අතර රාජ්‍ය පාලනය ගෙන යෑමේ දී යම් යම් අවශ්‍යතා මත නීති අණපනත් සම්මත කරමින් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බව ධම්මදස්සී නාහිමියන් ප්‍රකාශ කරනවා.

අද විපක්ෂය නියෝජනය කරන අය එදා ආණ්ඩු පක්ෂයේ සිටියදී ද රටේ අවශ්‍යතාව මත විවිධ අණපනත් ගෙනවිත් තිබෙන බව ද එම අණපනත් සම්මත කිරීමේදී මහා සංඝරත්නයේ අවවාද උපදෙස් ලබා නොගත් බව ද උන්වහන්සේ මෙහි දී සිහිපත් කළා.

කුමන හෝ පනතකින් ජනතාවගේ ජීවත්වීමේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට හානි වන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවත් ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යනය කිරීමෙන් පසු මහා සංඝරත්නය ඒ සම්බන්ධ ස්ථිර යමක් ප්‍රකාශ කිරීම සුදුසු බවයි අනුනාහිමියන් කියාසිටියේ.

මෙම පනතේ අඩුපාඩු ඇත්නම් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ මූලික වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට බවත් මහා සංඝරත්නය පාර්ලිමේන්තුව නියෝජනය නොකරන නිසා කළ හැකි වන්නේ ඒ පිළිබඳ අදහස් දැක්වීමක් පමණක් බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධව විශාල කතාබහක් නිර්මාණය වී තිබීම නිසා ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ ද අදහස් විමසීමට පෙළඹී තිබුණත් ඇතැම් පනත් පාර්ලිමේන්තුවේ සම්මත වූයේ මහා සංඝරත්නයේ කිසිදු හෝ අදහස් විමසීමකින් තොරව බවයි ධම්මදස්සී අනුනාහිමියන් මෙහිදී කියාසිටියේ.

මෙහිදී අදහස් පළ කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී පුජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි සඳහන් කළේ මෙම පනතේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර වගන්ති ඇත්නම් එම වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණයේ සහාය ලබාගැනීමට කාලයක් වෙන් කොට ඇති බැවින් එම ක්‍රමවේදයට අනුව කටයුතු කිරීම වඩාත් යහපත් බවයි.

ජාතික නිදහස සභාවේ මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් පළ කළ මල්වතු මහ නාහිමි අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි කියාසිටියේ මෙම පනත ගෙන ඒම ගැටලුකාරී තත්ත්වයක් නම් හෝ එමගින් සාමාන්‍ය ජනතාවගේ නිදහසට බාධාවක් ඇති වේ නම් පවතින ත්‍රස්තවාදය පිටු දැකීමේ පනතට අවශ්‍ය සංශෝධන එක් කිරීමෙන් එම ගැටළුකාරි තත්වය අවම වෙතැයි තමන් වහන්සේ සිතන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?