අවුරුදු 15 පාසල් දැරියක් තැලූ සිද්ධියේ අයෙක් රිමාන්ඩ් – සිසුන් 06ක් පරිවාසෙට

වයස අවුරුදු 15ක පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් 06 දෙනා ඇතුළු 19 හැවිරිදි තරුණයෙකු අද (04) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 19 හැවිරිදි තරුණයායි.

මෙහිදී එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළු හයදෙනෙකු ලබන 11 වනි දින තෙක් මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයෙහි පරිවාස භාරයට යොමු කරන ලෙසයි අධිකරණය නියෝග කරනු ලැබුවේ.

සැකකරුවන් හත්දෙනා අතුරින් තිදෙනෙක් දැරිය දූෂණයට ලක් කිරීම සහ අනෙකුත් සිව්දෙනා සිද්ධියට අනුබලදීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කර තිබුණා.