අයිස් කිලෝ 10ක් ගුවන්තොටේ දී අල්ලයි – ගුවන් මගියා මැලේසියාවේ සිට ඇවිත් (ඡායාරූප)

මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම ගුවන් මගියා MH-179 දරන ගුවන් යානයෙන් ඊයේ (18) රාත්‍රී 11.00ට මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී මොහු විසින් රැගෙන ආ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී තේ කොළ සහ කෑම පැකට් තුළ සඟවා තිබිය දී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවයි ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා අවුරුදු 35ක දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්