spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් පවුල් 1275කට පීඩා (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පවුල් 1275කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අධික වර්ෂාව, ජල ගැලීම් සහ තද සුළං හේතුවෙන් පුද්ගලයින් 5,051 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම තත්ව වාර්තාවට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 316කට හානි සිදුව තිබෙනවා.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ රත්නපුර, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්වලටයි.

වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ද හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් ද පවතිනවා. සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?