අපනයන කෘෂි කර්මාන්තය ප්‍රර්වධන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගියදා පැවති පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලා අනුමැතිය ලබා දීම සිදු වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සභාපතීත්වය දරන එම කාරක සභාව, එදින පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත්ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණා.
1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා වන මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබෙනවා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ තව තනතුරු ඇති කිරීම හා පැවැති තනතුරු උශ්රේණිගත කිරීමේදී ” අධ්යක්ෂවරයා ” යන තනතුරු නාමය “අධ්යක්ෂ ජනරාල්වරයා” ලෙස පදවි නාම ගත වුව ද, 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රර්වධන පනතේ පවතින ප්‍රතිපාදන ඊට අදාළව සංශෝධනය වී නොතිබිණි. තවද, ඊට අනුශාංශිකව, සංශෝධනය විය යුතු අනෙකුත් පදවි නාම ද සංශෝධනය වී නොතිබූ අතර මෙම පනත් කෙටුම්පත මගින් එම සංශෝධන හඳුන්වා දී තිබෙනවා.
එමෙන්ම, උක්ත පනතේ සඳහන් ” නිවේදිත කෘෂිකාර්මික භෝග ” ලෙස නම් කර ඇති අපනයන කෘෂි භෝග වල අර්ථ විවරණයන් වර්තමානයේ පවතින නිෂ්පාදන හා වෙළඳ පොළ තත්ත්වයන් සලකා බැලීමේ දී ප්‍රායෝගික නොගැළපීම් පෙන්නුම් කරන බැවින් වර්තමානයේ හා අනාගත අපනයන කෘෂි කර්මාන්තයට උචිත වන පරිදි අදාළ අර්ථ ගැන්වීම, නිර්වචනය කර සංශෝධනය කර ගැනීමේ අවශ්‍යතාවය මතු වී තිබෙනවා.
ඒ අනුව, පනතේ 19 වන වගන්තියේ ” අපනයන කෘෂි කම භෝගය ” යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට ආහාර භෝග ඛාණ්ඩයට අයත් වන වී, එළවළු, පලතුරු, අල බෝග සහ අතිරේක ආහාර භෝග හැර දේශීය පරිභෝජනයට අමතරව අපනයනය කිරීමේ හැකියාවක් ඇති භෝගයක් වශයෙන් හඳුනාගත් සහ මේ පනතේ 2 වන වගන්තිය යටතේ “නිවේදිත කෘෂිකාර්මික භෝගයක්” ලෙස විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද යම් භෝගයක් අදහස් වන බව පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත. එසේම වැවිලි භෝගයක් ලෙස හඳුනාගත් යම් භෝගයක් මෙයට ඇතුළත් නොවිය යුතු බවත් එහි වැඩිදුරටත් සදහන්.
තවද මෙරට ගම්මිරිස් ඇතුළු භෝග අපනයනය පිළිබඳව ද කාරක සභාව විසින් කරුණු විමසන ලදී. ඒ අනුව 2025 වසරේදී මෙරට ගම්මිරිස් මෙට්‍රික් ටොන් 12910 ක් අපනයනය කර ඇති බවත්, ලංකාවේ විශාලම ගැනුම්කරු ඉන්දියාව බවත් මෙහිදී අනාවරණය වුණා.
කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වී සිටියා.













