අදටත් මූදු රස්සාව කරන නිහතමානි නළුවා ඉලංගෝ…

“මම හිතන්නේ මට කලාව සහ රංගනය කියන දේ ගැන මුලින්ම කියා දුන්නේ අපෙ අම්මා. ගමේ සිදුවීම්, එදිනෙදා වෙච්ච දේ අපට ඇවිත් කියා දෙද්දි, ඇයගෙ මුහුණෙන් දුටු ඉරියව් මට තවම මතකයි. ඇය නිළියක නොවූවත්, මම හිතන්නෙ මට ඒ ආභාෂය ආවේ, අම්මගෙන්. මගේ මුල්ම රංගන ගුරුවරිය ඇයයි.” මේ විදියට කියන්නෙ සුමිත් ඉලංගෝ රංගන ශිල්පියායි. මේ දිනවල බොහෝ දෙනා ඔහු හඳුනන්නේ, ‘ඉන්ටර්නැෂනල් – 2’ නාට්‍ය මාලාවේ, ජෙගනාදන් හෙවත් ජෙගා යන චරිතය නිසාය. මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ සම්මාන දිනූ රංග ශිල්පියකු වන මේ සුමිත් ඉලංගෝ කවුද?

කවුද මේ සුමිත් ඉලංගෝ?

මම අනෙක් හැමෝම වගේ සාමාන්‍ය මිනිහෙක්. මීට අවුරුදු 14කට කලින් නාට්‍ය ක්ෂේත්‍රයට ආවෙ. මගේ නාට්‍ය ගුරුතුමන්ලා වන්නේ නැසීගිය එච්.ඒ. පෙරේරා සහ පරාක්‍රම නිරිඇල්ල මහත්වරු. කල්පිටිය ගමේ හිටපු මම කොළඹට එක්ක ආවෙ ඒ දෙන්නා. ඒ ආවෙම නාට්‍ය කරන්න. ඒ පටන් ගන්නා ආරම්භයේ සිට මේ දක්වා වේදිකා නාට්‍යවල හිටියා. ඒ ගමනේදී අද වනවිට ටෙලි නාට්‍යවලත් රඟපාන්න අවස්ථාව ලැබී තිබෙනවා.

අපි කොහොමද ඔබට කතා කරන්න ඕනෑ?

‘ඉලංගෝ’ කියලා තමයි ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුනන්නෙ.

ඔබේ ගම කල්පිටිය?

ඔව්, කල්පිටිය ජනසවිපුර කියන ධීවර ගම්මානයේ. මේ වනවිට ඉන්නෙත් ඒ ගමේම තමයි. අද නාට්‍ය වැඩවලට යන්නෙත් කල්පිටියෙ ඉඳලමයි. සාමාන්‍ය තරුණයකු කොළඹට ඇවිත් අත්විඳි සියල්ල මගේ මුල් කාලයේදී මාත් අත්වින්දා.

ඉලංගෝ කියන්නේ හොඳ කට්ටක් කාපු තරුණයෙක්?

ඔව්, ක්ෂේත්‍රයේ කාගෙවත් දැන හැඳිනීමක් නැතිව එන ඕනෑම තරුණයකු මුහුණ දෙන, අත්විඳින දෙයක්. ඒ කට්ට කාපු එකට මම ආසයි. ඒ නිසා තමයි බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන් වුණේ.

ඔබේ පවුලේ විස්තර කිව්වොත්?

අම්මයි, තාත්තා, මල්ලි, නංගී. මම වැඩිමලා. අපි ධීවර පසුබිමක් ඇති පවුලක්.

කොහොමද ඉලංගෝට, කලාවට හිත ගියේ?

ඒක සිද්ධ වුණේ අපේ පැත්තෙ, පුංචි කාලයේ ඉඳලාම බයිස්කෝප් බලන පිස්සුවක් මටත් තිබුණා. ගමේ පොල් අතු මඩුවක් ගහලා තමයි බයිස්කෝප් පෙන්නුවෙ. ඒ විදිහට බලපු වෙලාවක මට හිත ගිහින් තිබුණෙ. පසුව පාසලේ සාහිත්‍ය සමිතියකදී මොනව හරි අවස්ථාවක් ලැබුණා. විදුහල්පතිතුමා දවසක් මට අවස්ථාවක් ලබා දුන්නා රංගන වැඩමුළුවකට යන්න. ඒ වැඩමුළුව මෙහෙයවූවේ එච්.ඒ. පෙරේරා මගේ ගුරුතුමා. එතැනදී පරාක්‍රම සර් හඳුනාගන්න ලැබුණා. මගේ නාට්‍ය ගමන පටන් ගන්නෙ එහෙමයි.

ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණක් ඇතිවද?

විශේෂ අරමුණක් තිබුණෙ නැහැ. අනෙක් හැමෝම අරමුණක් ඇතිව යද්දි මට එහෙම අරමුණක් නොතිබුණේ, පවුල ගොඩදාන්න තිබූ පරමාර්ථය නිසයි. මට තිබුණෙ කොහොමද අපේ පවුල ගොඩදාන්නෙ කියන එක. තාත්තාට අසනීප වීමත් එක්ක, අට වසරෙ ඉඳලාම මට ගෙදර ඊළඟ වේල කොහොමද කන්නෙ කියන දේ ගැන හිතන්න වුණා.

ඉතින් ඉලංගෝත් මුහුදු ගියාද?

ඔව්, මගේ පළවැනි රස්සාව මුහුදු යාම. ඒක මගේ පළවෙනි රස්සාව. අදටත් මුහුදු යනවා. 

මුහුදට ඉලංගෝ බය නැද්ද?

නැහැ, මුහුද තමයි මාව ජීවත් කළේ. ඒ නිසා මම එයාට බය නැහැ.

ඉලංගෝ බය මොනවටද?

මම බය ජීවත් වෙන්න.

ඇයි ජීවත් වෙන්න බය?

ජීවත්වීම හරි අමාරුයි. මැරෙන එක ලෙහෙසියි. ජීවත් වෙනකොට නිතරම ජීවත් වීම ගැන හිතන්න වෙනවා. ඒ නිසා බයයි.

මුහුද මැදදි, අත්විඳි දේවල් තියෙනවද?

ඔව්, බොහොමයක් තියෙනවා. දෙවතාවකදීම මුහුද මැදදි මරණය අත්වින්දා. මැරිලා උපන් අවස්ථා කිව්වොත් හරි.

ඒත් මුහුදු ගමන අත්හරින්නෙ නැහැ?

නැහැ. මාව, මගේ පවුලේ අය ජීවත් කළේ මහ මුහුදයි. ඒ නිසා ඒ මහ මුහුදට මම ආදරෙයි. 

එතකොට, ඉලංගෝට කවුද ආදරේ?

බොහෝ දෙනෙක් ආදරේ ඇති කියලා මම  හිතනවා. ඒක මට කියන්න හෝ ඒක හොයන විදිය මම දන්නෙ නැහැ. ඒත් බොහෝ දෙනෙක් මට ආදරෙයි කියලා මම හිතනවා.

ගැහැනු ළමයෙක්ගෙ ආදරය තවම ලැබිලා නැද්ද? ලබලා නැද්ද?

ලැබිලා නැහැ කියන්න බැහැ. පොදු ප්‍රේක්‍ෂකයින් පිරිසකගේ ආදරය මට ලැබෙනවා.

‘ඉලංගෝට’ ගෙදරින් විවාහ වෙන්න කියලා නැද්ද?

දැනටමත් මම විවාහ වෙලානෙ. ඉතින් ඒක ගැන අහන්න විදියක් නැහැනෙ.

අපි ‘ඉන්ටර්නැෂනල් – 2’ නාට්‍යයේ ඔබ රඟපාන ‘ජෙගා’ ගැන කියමු? කොහොමද ජෙගා වුණේ?

සුජීව අයියා සහ දුලීකා අක්කා අපි එකට වැඩ කරලා දැන හඳුනාගෙන හිටියෙ. මගේ දක්‍ෂතා දැකලා, එයාලම කියලා තිබුණෙ මට අවස්ථාවක් ආවාම අවස්ථාව දෙනවා කියලා. මේ නාට්‍යයේ දෙවැනි කොටස් මාලාව ලියද්දි අසංග සායක්කාර ජෙගනාදන් කියලා චරිතයක් ලියලා තිබුණෙ. ඒකට මාව තෝරා ගත්තෙ මා කෙරෙහි වූ විශ්වාසය නිසයි. ඒ චරිතයට අනුව විවිධ පරාසවලට විහිදි යන චරිතයක්. දමිළ කතා කරන සහෝදරයකුගෙ චරිතයක්. කුඩා කාලයේ ඉඳලා මම දමිළ භාෂාව හසුරවලා නැහැ. ඒත් කුඩා කාලයේ ඉඳලාම මේ ක්ෂේත්‍රයේ කලාවේ ගහපු රස්තියාදුව එක්ක තමයි දමිළ බස ඉගෙන ගන්න හුරුවුණේ. චරිතය ලැබුණාම, මම මේක ගැන අධ්‍යක්‍ෂ සුජීව ප්‍රියාල් අයියා සහ රචක සායක්කාරගෙන් අහලා මගේ අදහස් විමසලා, මේ චරිතයේ අභ්‍යන්තරයට යන්න මට ඕනෑ වුණා. 

අපි දකිනවා ජෙගා හොඳට සාරි බිස්නස් කරනවා. ඒ ව්‍යාපාරය මීට කලින් කරලා තියෙනවද?

කොහෙත්ම නැහැ. ඒත් ඒ අත්දැකීම් අත්විඳලා තියෙනවා. කොළඹට එනවනෙ. එද්දි පිටකොටුව අපේ ගමනාන්තයනෙ. පිටකොටුවෙදී තැන් තැන්වලට ගිහින් සෙවුම් බැලීම් කිරීමේ දෙයක් මට තිබුණෙ. මම මේ සාරි බිස්නස් එක ගැන සොයා බැලුවා.

‘පටස්’ හඬ එනවා නම් හොඳ සාරියක්ද?

හරියට හරි. ඒත් ඒක සාරි බිස්නස් එකේදී එක උපක්‍රමයක්. හැබැයි ‘පටාස්’ කියලා සද්දය එනවා නම් ඒක හොඳ සාරියක්.

‘ජෙගා’ට මේ ‘ඉන්ටර්නැෂනල් – 2’ නාට්‍ය දැනෙන්නෙ කොහොමද?

මෙතෙක් කළ රූගත කිරීම් එක්ක මට දැනෙන්නෙ මේ වනවිට පවතින සමාජයේ, අපි මුහුණ දෙන ඛේදවාචකය, සැබෑ ලෙස ඉදිරිපත් කරන නාට්‍යයක්. අපිටම අපි දිහා හරවා බලන්න පුළුවන් අවස්ථාවක්.

කොහොමද කල්පිටියෙ ජනතාවත් මේක නරඹනවාද?

ගමේ හැමෝම වගේ නරඹන බව පේනවා. එයාලා ඉන්ටර්නැෂනල් නාට්‍යය වගේම ජෙගනාදන්ගෙ චරිතයටත් ආදරය කරන බව පේනවා. සුජීව ප්‍රියාල් අයියගෙන් මේ චරිතය ගොඩ නගා ගන්න ලැබෙන උදව් ඉතා නිහතමානීව අගය කළ යුතු දෙයක්.

මුහුදෙ ඉන්න මාළුවන්ගෙන් අල්ලා ගන්න අසීරුම මාළුවා?

කකුළුවා. කළු කකුළුවා හරි විශාලයි. හොඳ ධීවරයකු ලෙස නම් කරන්නෙ ඒ කකුළුවා අල්ලා ගැටගහන ධීවරයාව. ඒක එක්තරා විදියක ටෙක්නික් එකක්. හැමෝටම ඒක කරන්නට බැහැ. හැබැයි ඒක මට පුළුවන්.

ඒ කියන්නෙ ‘ජෙගා’ වූ ඉලංගෝ, හොඳ ධීවරයෙක්?

ඔව්.

ඒක කියන්න ලැජ්ජා නැහැ?

අපෝ නැහැ. මම නාට්‍ය කලාව දන්නෙ මගේ ජීවිතේ වසර විස්සක් විතර ගෙවී ගිය පසුවයි. ඒත්, මහ මුහුද මම දන්නෙ පුංචි කාලයේ ඉඳලමයි. 

ඉලංගෝ බොහොම නිර්ව්‍යාජ මිනිහෙක්?

සමාජය තමයි මා ගැන කියන්නට ඕනෑ. මට මා ගැන කියන්න තේරෙන්නෙ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23