අතුරුදන් වූ ටෙනිස් තරුව හොරෙන් හොරෙන් ඉඟි පානවාද..?

අතුරුදන් වූ චීන ටෙනිස් ක්‍රීඩිකා පෙන්ග් ශුආයි ඉරිදා (නොවැ. 21) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති සමග විඩියෝ සංවාදයක් සිදුකර ඇතැ යි වාර්තා වේ.

නමුත් කාන්තා ටෙනිස් සංගමය ප්‍රකාශ කරන්නේ, එම සංවාදය පෙන්ග්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට පිළිතුරු සපයන්නේ නැති බව යි.

ටෙනිස් තරුව සති දෙකකට පෙර චීන රජයේ ඉහළ නිලධාරියෙකුට එරෙහිව ලිංගික අතවර චෝදනා එල්ල කළ දිනයේ සිට ඇය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොතිබුණි.

පෙන්ග් සුවෙන් සහ ආරක්‍ෂිතව පසුවන්නේයැ යි පෙනෙන බව විඩියෝ සංවාදයෙන් පසු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශකර සිටියේ ය.

ඔලිම්පික් කමිටුව නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වුණේ, පෙන්ග් “ඇගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වීම ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ස්තුතිය පුද කර සිටි” බව යි.

“ඇය බීජිංහි ඇගේ නිවසේ වෙසෙන බවත්, ආරක්ෂිතව සහ හොඳින් පසුවන බවත්, කෙසේ නමුත් මේ අවස්ථාවේ ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්නේ නම් තමා ඊට කැමති බවත් ඇය පැහැදිලි කළා ය,” එහි වැඩිදුරටත් සඳහන් විය.

“ඇය මේ මොහොතේ සිය මිතුරන් සහ පවුල සමග කාලය ගත කිරීමට කැමැත්තක් දක්වයි,” ඔලිම්පික් කමිටු ප්‍රකාශය සඳහන් කරයි. “කෙසේ වෙතත්, ඇය දිගටම ටෙනිස් ක්‍රීඩාවේ නියැලෙනු ඇත.”

වීඩියෝ ඇමතුම සිදුවන ආකාරය පිළිබඳ රූපයක් ද ඔලිම්පික් කමිටු ප්‍රකාශයට ඇතුළත් වූ අතර, පෙන්ග් කැමරාවට සිනා සෙමින් සිටිනු එහි දැක්විය.

මීට පෙර ද, චීන රජයට අනුබද්ධ මාධ්‍ය සංවිධානයක් වන ග්ලෝබල් ටයිම්ස්හි කර්තෘ හු ෂීජින්, පෙන්ග් පොදු ස්ථානයක පසුවන බව පෙන්වන වීඩියෝ දර්ශන ට්විටර්හි පළ කර තිබුණි.

පසුගිය සෙනසුරාදා (නොවැ. 20) පලකළ එවැනි වීඩියෝවකින් දැක්වුණේ පෙන්ග් අවන්හලක දී තවත් පුද්ගලයින් ද සමග ආහාර ගනිමින් සිටිනා දර්ශනයකි.

එහි ඇතිවූ සංවාදය අතරතුර, කණ්ඩායමේ සිටි පිරිමියෙකු “හෙට නොවැම්බර් 20යැ”යි පවසන අතර, කාන්තාවක් එය නොවැම්බර් 21 බව පවසමින් ඔහු නිවැරදි කරයි.

මෙම සංවාදය, දිනය අවධාරණය කිරීම සඳහා සැලසුම් සහගතව රූගත කළ එකක්දැ යි ඇතැම් ට්විටර් පරිශීලකයින් ප්‍රශ්න කර තිබුණි. ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටි බව පෙන්වන කිසිදු වීඩියෝවක් චීන සමාජ මාධ්‍ය තුළින් සොයාගත නොහැකි ය.

මෙම වීඩියෝ නිකුත් වීමට කීප දිනකට පෙර, පෙන්ග් ශුආයි විසින් එවන ලද බව කියමින් චීන රාජ්‍ය මාධ්‍ය නිකුත් කළ විද්‍යුත් ලිපිය සම්බන්ධව කාන්තා ටෙනිස් සංගමයේ ප්‍රධානියා සැක පළකළේ ය.

මෙම චෝදනා ‘සත්‍ය නොවන’ බව පෙන්ග් මේ විද්‍යුත් ලිපිය මඟින් ප්‍රකාශකර සිටි බව කියැවුණි.

කාන්තා ටෙනිස් සංගමයේ සභාපති ස්ටීව් සයිමන් පැවසුවේ මෙම විද්‍යුත් ලිපිය නිසා, ක්‍රීඩිකා පෙන්ග්ගේ ආරක්ෂාව පිළිබඳ ඔහු තුළ ඇති කණස්සල්ල තීව්ර වූ බව යි.

“ඇත්තෙන්ම, අපට ලැබුණු විද්‍යුත් ලිපිය පෙන් ශුආයි විසින් ලියූ බව විශ්වාස කිරීමට මට අපහසු යි. එය ඇය ලියූ බවට අපව ඒත්තු ගැන්වීමට කරන ලද උත්සාහයක් ලෙස පෙනී යයි,” යි ප්‍රකාශයක් නිකුත් කරමින් සභාපතිවරයා කියා සිටියේ ය.

මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසන්නේ ද, “මෙය එයාකාරයෙන්ම පිළිනොගත යුතු” බව යි. කෙසේ නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තමන් “නිහඬ රාජතාන්ත්‍රිකභාවයට” කැමැති බව කියමින් අදහස් පලකිරීම ප්‍රතික්ෂේප කළේ ය.

ඇය ලියන ආකාරයට ලියා CGTN ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද විද්‍යුත් ලිපිය මඟින්, ඇය අතුරුදහන් වී හෝ අනාරක්ෂිත නැති බව කියා සිටින අතර, “මම දැන් නිවසේ විවේක ගනිමින් සිටිමි, සියල්ල හොඳින්” ලෙස ද දන්වා තිබේ.

හිටපු අංක එකේ ටෙනිස් යුගල ක්‍රීඩිකාවක් වන පෙන්ග් නොවැම්බර් මස මුල දී චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන වෙයිබෝ ඔස්සේ, චීනයේ හිටපු උප අගමැති ෂැං ගඕලිට චෝදනාවක් එල්ල කළ අතර, ඉන් පසුව ඇය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.

2013 – 2018 අතර කාලයේ රටේ උප අගමැති ලෙස කටයුතු කළ, චීන ජනපති ෂී ජිංපින්ගේ සමීප සගයකු ද වූ ෂැං ගඕලි තමන් බලහත්කාරී ලෙස ලිංගික සබඳතා සඳහා සහභාගී කරගත් බවට ඇය චෝදනා කළා ය (මේ සම්බන්ධයෙන් ඇය පළකළ පෝස්ටුව පසුව ඉවත් කෙරිණි). එතැන් සිට ඇය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීය.

එතැන් පටන් කාන්තා ටෙනිස් සංගමය සහ ටෙනිස් ලෝකයේ ප්‍රබලයෝ පෙන්ග් පිළිබඳ විමසමින් සිටිති.

පසුගිය බ්‍රහස්පතින්දා චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයාගෙන් වාර්තාකරුවන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ, තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය.

“මෙය විදේශ කටයුතුවලට සම්බන්ධ කාරණයක් නොවේ,” සාහෝ ලිජියැං පැවසීය. “එමෙන්ම ඔබ සඳහන් කළ සිදුවීම පිළිබඳව මම දැනුවත් නැහැ.”

කාන්තා ටෙනිස් අංශයෙන් ලොව පළමු ස්ථානයේ පසුවූ, 23 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය කළ සෙරීනා විලියම්ස් පැවසුවේ පෙන්ග්ගේ අතුරුදහන්වීමේ පුවත ඇය “මහත් සංවේගයට සහ කම්පනයට” පත්කළ බව යි.

“ඇය ආරක්ෂිතව සහ හැකි ඉක්මනින් සොයාගනු ඇතැ යි මම බලාපොරොත්තු වෙනවා. මෙය විමර්ශනය කළ යුතු අතර අපි නිශ්ශබ්දව සිටිය යුතු නැහැ,” ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටියා ය.

මෙම සතිය මුල දී, ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකයෙකු වන නොවාක් ජොකොවික් පැවසුවේ පෙන්ග් හොඳින් සිටිනු ඇතැ යි තමා බලාපොරොත්තු වන බවත්, මෙම සිදුවීමෙන් ඔහු කම්පනයට පත් වූ බවත් ය. නයෝමි ඔසාකා ද පෙන්ග් කොහි සිටින්නේ ද යන්න වග දැනගැනීමට තමා බලවත් සැලකිල්ලක් දක්වන බව ප්‍රකාශ කර සිටියා ය. ඉන්පසු තවත් ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් #WhereIsPengShuai යන හැෂ්ටැග් එක යටතේ සිය අදහස් පළකර ඇත.

කාන්තා ටෙනිස් සංගමයේ සභාපති ස්ටීව් සයිමන් පසුගිය බදාදා පැවසුවේ, “ඇය ආරක්ෂිත බව ඔප්පු කෙරෙන ස්වාධීන සහ පිළිගත හැකි සාක්ෂ්‍ය කාන්තා ටෙනිස් සංගමයට සහ සෙසු ලෝකයට අවශ්‍ය යි” යනුවෙනි.

එමෙන්ම ඇය සිදු කළ ලිංගික අතවර චෝදනාව ද “සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව සහ වාරණයකින් තොරව” විමර්ශනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.

“කාන්තාවන්ගේ හඬට ගරු කළ යුතු ය, ඇහුම්කන් දිය යුතු ය. එය වාරණය හෝ පාලනය කිරීම සිදු නො කළ යුතු ය,” ඔහු තව දුරටත් පවසා සිටියේ ය.

සභාපතිවරයාගේ ප්‍රකාශයන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ප්‍රතිරාවය කෙරිණි.

“පුද්ගලයන්ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශ ලබා ගැනීම හෝ, හුදෙක් ගොතන ලද ප්‍රකාශයන් නිකුත් කිරීම පිළිබඳ අතීතයක් චීන රාජ්‍ය මාධ්‍යවලට තිබෙනවා,” ඇම්නෙස්ටිහි ඉන්ටර්නැෂනල් හී චීන පර්යේෂක ඩොරියන් ලෝ පැවසුවා ය.

“පෙන්ග්ගේ ආරක්ෂාව සහ ඇය සිටින ස්ථානය තහවුරු කළහොත් මිස, මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කිරීම නැවතෙන්නේ නැත.”

මේ අතර, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “අත්දැකීම්වලින් පෙනී යන්නේ නිහඬ රාජතාන්ත්‍රිකබව එවැනි ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීමට හොඳම අවස්ථාව ලබා දෙන” බව යි.

“මෙම අවස්ථාවේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තවදුරටත් අදහස් නොදක්වන්නේ මන්දැ යි මෙයින් පැහැදිලි වනු ඇත,” යනුවෙන් එහි සඳහන් විය. චීනය පෙබරවාරි මාසයේ ශීත සෘතු ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය දැක්වීමට නියමිත ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18