අකුරණ මාරක අනතුර ගැන විමර්ශනයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්

පුද්ගලයින් හතරදෙනෙක්මරු කැඳවමින් අකුරණ, කුරුගොඩ, 7 කණුව ප්‍රදේශයේ දී ඊයේ (19) සිදුවූ රිය අනතුර පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද (20) එම ස්ථානයට පැමිණීමට නියමිතයි.

මෙම අනතුරට සම්බන්ධ සිමෙන්ති ප්‍රවාහනය කළ රථයේ රියදුරු අද (20) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා.

අලවතුගොඩ සිට මහනුවර දෙසට ගමන් කරමින් තිබූ එම සිමෙන්ති ප්‍රවාහනය කළ රථය පාලනයෙන් ගිලිහී ගොස්, ත්‍රිරෝද රථ හතරක්, යතුරුපැදි තුනක්, ටිපර් රථයක් සහ කුඩා ලොරි රථයක ගැටී පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මියගිය සිව්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බව පොලිසිය සඳහන් කළ අතර, මියගිය යාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව ඒවා ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර තිබුණා.