දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව ජනවාරි 05 වන දින යළි කැඳවන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (20) නියෝග කළා .
සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
එදිනට සිද්ධියට අදාළව වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධන හලක සේවයේ යොදවා ගනිමින් ද, තවත් සේවකයෙක් තනතුරට අදාළ වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා ගැනීමකින් තොරව එම සේවකයන් වෙත රජයෙන් රුපියල් 2,768,836.14 ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදුකිරීමෙන් දූෂණය නැමැති වරද සිදුකිරීම යන චෝදනාව මත මෙහි පළමු සැකකරුට චෝදනා ගොනු කර තිබු අතර, එයට ආධාර අනුබල දීමේ චෝදනාව මත දෙවන සැකකරුට චෝදනා ගොනු කර තිබෙනවා.
